ඡන්ද මධ්‍යස්ථානය ඡන්දදායක මිතුරු (Voter - friendly ) විය යුතුය. 

මැතිවරණයකදී ජනතාවට තමන්ගේ ඡන්දය පාවිච්චි කිරීම සඳහා ඇති සුදුසුකම තහවුරු කරමින් කොමිසම විසින් කරනු ලබන මූලික දැනුම්දීම වන්නේ ඡන්ද කාඩ් පත ඡන්දදායකයන් වෙත එවීමයි. මෙම ඡන්ද කාඩ් පතෙහි සඳහන් වන්නේ ඡන්දදායකයාගේ නම පදිංචිව ඇති ලිපිනය සහ ජාතික හැඳුනුම්පත්  අංකයයි. ඊට අමතරව ඔහු හෝ ඇය විසින් ඡන්දය පාවිච්චි කළ යුතු ස්ථානය පිළිබඳ තව දුරටත් විස්තර සඳහන් වෙයි.

1980 ගණන්වල පවත්වන ලද ජනමත විචාරණයේ සිට මේ දක්වා සෑම ඡන්ද විමසීමකට ආරංචිරාළ සහභාගි වී ඇත. ඡන්දය පාවිච්චි කිරීමේදී ඡන්දදායකයන්  විසින් අනුගමනය කළ යුතු නිශ්චිත ක්‍රියාදාමයක් සහ නීති රීති මාලාවක් ඇත. එනම්, ඡන්ද කාඩ් පත සහ තමන්ගේ අනන්‍යතාවය ඔප්පු කළ හැකි කිසියම් ලියවිල්ලක් ඡන්ද මධ්‍යස්ථානය  වෙත රැගෙන යාම යි.  

විවිධ හේතූන් හෝ තැපැල් සේවයේ ඇතිවෙන ප්‍රමාදයන් නිසා සමහර අවස්ථා වලදී ඡන්දදායකයන්ට ඡන්ද කාඩ් පත ලැබෙන්නේ නැත. මේ ගැන සලකා බලන මැතිවරණ කොමිසම තමන්ගේ අනන්‍යතාවය තහවුරු කළ හැකි ලියවිල්ලක් සමග ඡන්ද මධ්‍යස්ථානයට පැමිණ විට ඡන්දනාම ලේඛනයේ තමන්ගේ නම තිබෙන්නේනම්  ඔහුට වූ ඇයට ඡන්දය පාවිච්චි කිරීමට අයිතිය ලැබෙනු ඇත. මින් අදහස් කරන්නේ ඡන්ද කාඩ්පත  ඡන්ද මධ්‍යස්ථානය වෙත රැගෙන යාම අත්‍යවශ්‍ය නැති බවය. එසේ නම් ඡන්ද කාඩ්පතේ  ඇති  තොරතුරු ද අත්‍යවශ්‍ය වන්නේ නැත. එවැනි ක්‍රමවේදයක් පවතින අවස්ථාවක ඡන්ද කාඩ්පතේ ඇති පුද්ගල තොරතුරු සහ  ඡන්ද නාමලේඛනයේ ඇති විස්තර මෙන්ම  අනන්‍යතාවය තහවුරු කරන ලියවිලිවල  ඇති තොරතුරු සැසදීම අනවශ්‍ය කාරණයකි.

අවාසනාවකට මැතිවරණ රාජකාරියේ නිරතව සිටින රජයේ නිලධාරීන් දැනුවත් කර ඇත්තේ පුද්ගලයකුට ඡන්දය දැමීම සඳහා ඡන්ද මධ්‍යස්ථානය තුළදී ඉදිරිපත් කළ හැකි සෑම ලියවිල්ලකම ඇති තොරතුරු එක හා සමාන විය යුතු බවය. මේ සැබවින්ම විහිළුවක් වන්නේ ඡන්ද කාඩ් පත නැතුව ඡන්දය පාවිච්චි කිරීමට අවසර ලබාදී තිබෙන විටය. ඡන්ද මධ්‍යස්ථයකදී කෙනෙකු ඡන්දය පාවිච්චි කිරීමට තිබිය යුතු මූලික සුදුසුකම වන්නේ ඡන්ද නාමලේඛනයේ  ඇති තමාගේ නම ඡන්දය පාවිච්චි කරන්නාගේ නම බව සහතික කිරීම පමණි. විවිධ පක්ෂ වලින් ඡන්ද මධ්‍යස්ථාන වල තම තමන්ගේ නියෝජිතයන් පත් කර ඇත්තේ එම තහවුරු කිරීම සඳහාය.

මෙවන්  වාතාවරණයක් තුළ ඉලක්කමක හෝ නමේ අකුරක ඇති අඩුවක් හෝ නොගැලපීමක් නිසා ඡන්ද මධ්‍යස්ථානය තුළදී ඡන්දදායකයකුට තමන්ගෙ අනන්‍යතාවය දිගින් දිගටම තහවුරු කිරීමට තවත් ක්‍රියාමාර්ග ගත යුතු නම් මෙය  සැබවින්ම ඡන්දදායකයන් ට තමන්ගේ මූලික අයිතිවාසිකක් වන ඡන්දය පාවිච්චි කිරීම සඳහා ඇති අයිතියට කරන බාධාවකි.

ඡන්ද මධ්‍යස්ථාන තුළදී අවංක සහ නිර්ව්‍යාජ ඡන්දදායකයින්ව තවදුරටත් අපහසුවට සහ පීඩනයට පත් නොවන ආකාරයට ඡන්ද නීති සංශෝධනය කිරීම සහ     ඡන්දදායක-මිතුරු( Voter-friendly) වාතාවරණයක් නිර්මාණය කිරීම මැතිවරණ කොමිසමේ වගකීම වන අතර ඒ සඳහා අවශ්‍ය නීති රීති සම්පාදනය කිරීම ආණ්ඩුවේ වගකීමක් බව ආරංචි රාළ තරයේ කියා සිටී.

ආරංචි රාළ; 2025.05.06 - 96 වන දිගහැරුම

 

Comments

Popular posts from this blog