අතරවරයට ලක්වූ පාසල දැරිය දිවිනසා ගැනීම.

පටු දේශපාලන අරමුණු වෙනුවෙන් මාධ්‍ය සහ අවස්ථාවාදී කණ්ඩායම් සත්‍ය විකෘති කිරීම සහ වැරදිකරුවන් නිතිය ඉදිරියට ගෙනඒමට බාධා පැමිණවීම.

කොටහේන පාසල් සිසුවියගේ දිවි නසා ගැනීම පිළිබඳ අතිශයින්ම සංවේදී පුවත පිළිබඳව සටහනක් තැබීමට පෙර ආරංචි රාළ  දැරිය සියදිවි නසා ගැනීම සිදුවීමට පෙර සහ ඉන් පසුව ඇති වූ තත්ත්වයන් පිළිබඳව කිසියම් ගැඹුරු විමර්ශනයක නිරත වන්නට විය.

“සත්‍යය කතා කිරීම මිස, කිසිවෙකුට සුදුහුණු ගාන්නට ආරංචි රාළ අවශ්‍ය නැත.”

එහෙත් ජනතාව ප්‍රතික්ෂේප කළ පරාජිත දේශපාලන පක්ෂ සහ  ආණ්ඩු විරෝධී ඊනියා මානව හිමිකම් සංවිධාන සහ NGO කාරයෝ මේ වන වට මෙම සිද්ධිය  ගිජු ලිහිණියන් රෑණකට හමුවූ මළකුණක් බවට පත්කරගෙන තිබීම නින්දා සහගතය.

කෙසේ වෙතත් මෙම අවාසනාවන්ත ජීවිත අහිමි වීම සිදු නොවී වළක්වා ගැනීමට ඕනෑ තරම් අවස්ථා තිබූ බව නම් ඉතා පැහැදිලිය.  එහිදී මෙම දැරිය අතවරයට ලක් වූ  පාසලේ විදුහල්පතිවරියට චෝදනා නොකර සිටින්නට නම් ආරංචි රාළට නොහැකිය.

මක්නිසාදයත්, විදුහල්පතිනිය මෙම ගුරුවරයා අතින් වරදක් සිදුව ඇති බව දැන දැනම ඇය මේ පිළිබඳව අධ්‍යාපාන අමාත්‍යාංශයේ  හෝ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ බලධාරීන්  දැනුවත් කිරීම මගහැර ඇත. එසේම, ගුරුවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගැනීම වෙනුවට දරුවාව පාසලෙන් ඉවත් කර ගන්නයි දෙමව්පියන්ට දැනුම් දී ඇත.

මෙම සිද්ධියට ටියුෂන් ආයතනය අයිතිකරු වන ජාතික ජන බලවේගයට සම්බන්ධ දේශපාලකයා සම්බන්ධ කිරීමට දරන වෑයම නියත වශයෙන්ම පරාජිත පක්ෂවල  නින්දිත දේශපාලන ව්‍යාපෘතියක් ලෙස ආරංචි රාළ දකියි.

ඊට අමතරව දැරිය සියදිවි හානිකර ගැනීමට පෙර ඇයගේ දෙමව්පියන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ කාන්තා හා ළමා කටයුතු භාර ඇමැතිවරිය හමුවීමට උත්සාහ දැරීම යුක්තිය සාධාරණය වෙනුවෙන් ඉදිරියෙන් සිටිනවා යයි කියන දේශපාලන කණ්ඩායමක් විසින් වළක්වා ඇති බවටද ආරංචි රාළට තොරතුරු ලැබී ඇත.

විෂය භාර ඇමතිවරිය විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශය, සැමදා තමන්ගේ පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍රයන් වෙනුවෙන් පෙනී සිටිමින් ජනතාවට නයි පොළඟුන් පෙන්වන ජඩ මාධ්‍ය ආයතනයක් විසින්  විකෘති කිරීම ආරංචි රාළ තරයේ හෙලා දකියි.

අවාසනාවකට අධ්‍යාපන අමාත්‍යාංශයට මේ පිළිබඳව දැන ගැනීමට ලැබෙන්නේ දැරියගේ මරණයෙන් පසුවය. ඒ සමගම අධ්‍යාපන අමාත්‍යාංශයේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර දරුවා වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට මේ වන විටත් රජයක් ලෙස කටයුතු කිරීම ආරංචි රාළ අගයක් කළත්, සතුටු වන්නේ නම් නැත. මක්නිසාදයත්, ඒ කිසි දෙයකින් මේ අහිංසක දරුවාගේ ජීවිතය නැවත ලැබෙන්නේ නැත.

ආණ්ඩුවක වගකීම වන්නේ මෙවැනි සිදුවීම් කිසිවිටෙක සිදු නොවීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමය. ආණ්ඩුව ඒ වෙනුවෙන් අදට වඩා ක්‍රමානුකුලව සහ සැලසුම් සහගතව කටයුතු කලයුතුය.

කෙසේ වෙතත්. නිර්මාණාත්මක විවේචනය (Constructive criticism)  කියන්නෙ විශේෂයෙන් ජාතික ජන බලවේගය වගේ ආණ්ඩුවක් අපේක්ෂා කළ යුතුම දෙයක් කියල ආරංචි රාළ විශ්වාස කරයි. මොකද මේක "ජනතාව වෙනුවෙන් වැඩ කරන ජනතාවාදී ආණ්ඩුවක්" කියල ආරංචි රාළ ද විශ්වාස කළ, සහ කරන නිසාය.

ඇත්තටම  සමහරු කියන විදිහට අමාත්‍යවරිය ඇගේ වගකීම් කිසිවක් ඉටුකොට නැද්ද? මියගිය දැරියගේ දෙමව්පියන් "පෙත්සමක් අත්සන් කරගෙන එනතුරු" ඇය බලා සිටියාද..? මේ කතාවේ ඇත්ත නැත්ත ගැන ආරංචි රාළ හොයා ගත් තොරතුරු ටික පහත පිලිවෙලින් සටහන් කර ඇත.

01. මේ දැරිය අපහරණයට ලක්වූවා යැයි පොලිසියට පැමිණිල්ලක් ලැබී තියෙනවා. ඒ පැමිණිල්ල විභාග කිරීම හේතුවෙන් අදාළ ගුරුවරයා පොලිස් අත්අඩංගුවට පත්වෙනවා. පසුව ඔහු "ඇප මත මුදා හැරෙනවා" ඒ කටයුත්ත සිද්ද වෙන්නේ අදාළ පොලිස් පරීක්ෂණයට අනුකුලවයි.

02. අදාළ විදුහලේ විදුහල්පතිනිය මේ සිදුවීමෙන් පසු, දරුවාව වෙනත් පාසලකට ඇතුළත් කරගන්නා ලෙස දෙමව්පියන්ට දැනුම් දෙනවා. චෝදනා ලැබූ ගුරුවරයා නැවත එම පාසලේ සේවය කරනවා. නමුත් විදුහල්පතිනිය දරුවාව පාසලින් ඉවත් කරගන්නා ලෙස දැනුම් දුන්නත්, අදාළ සිදුවීම සම්බන්ධයෙන් හෝ ගුරුවරයා සම්බන්ධයෙන් කිසිවක් අධ්‍යාපන අමාත්‍යංශයට දැනුම් දෙන්නේ නැහැ. (විදුහල්පතිය මුලින්ම කළ යුතුව තිබුනේ එය බවයි බොහෝ දෙනාගේ මතය, නමුත් ඇය ඒ පියවර අනුගමනය කොට නැහැ)

03. සිදුවීම් මෙසේ තිබියදී, දැරිය සියදිවි නසා ගන්නවා. මේ බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරියට දැනගැනීමට ලැබෙනවා. ඒ මොහොතේ ක්‍රියාත්මක වන අමාත්‍යවරිය මේ බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරියට, එම අමාත්‍යංශයට, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය, නියෝජ්‍ය පොලිස්පති  ඇතුළු වගකිව යුතු පාර්ශවයන් දැනුවත් කරනවා. අදාළ සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයට තොරතුරු වාර්තා වී නොමැති බව දැනගන්න ලැබෙන්නෙත් ඉන් පසුවයි.

04. ඒ කොහොම වුනත්, තොරතුරු ලැබෙන විදිහට අමාත්‍යවරිය මේ දැරියගේ මව ඇතුළු වැඩිහිටියන් මුණගැසීමට උත්සාහ කළත්, කිසියම් දේශපාලනික කණ්ඩායමක උවමනාව මත, අමාත්‍යවරියව මුණගැසීමට දෙමව්පියන් අවස්ථාව ලබාගන්නේ නැහැ.

පාර්ලිමේන්තු කතාවේ නොදකින පැත්ත: මෙම සිදුවීම සම්බන්ධයෙන් අමාත්‍යවරියගෙන් විපක්ෂ මන්ත්‍රී වරුන් (විපක්ෂ නායක, මන්ත්‍රී මනෝ ගනේෂන්, මන්ත්‍රී මුජිබර් රහුමාන්) ප්‍රශ්න කරනවා. ඒ මොහොතේ පිළිතුරු වශයෙන් අමාත්‍යවරිය අදාළ කරුණු සියල්ල පැහැදිලිව දැක්වීමට උත්සාහ කළ නමුත් විපක්ෂයෙන් ඉතා විශාල කෑ ගැසීම් හා බාධා කිරීම් පැමිණ තිබෙනවා. අවසානයේ ඒ ඝෝෂාව ඉක්මවා යමින් අමාත්‍යවරිය උස් හඩින් තමන්ගේ කතාව ඉදිරිපත් කරනවා. ඇයගේ කතාව අසංවේදී සහ අහංකාර කතාවක් විදිහට එලියට එන්න ඒක හේතුවක් වෙන්නට ඇතැයි ආරංචි රාළ හිතනවා.

ඒ වගේම සමහර මාධ්‍ය වාර්තා කළ පරිදි, (වැඩිපුරම සමාජගත වූයේ එයයි) අමාත්‍යවරිය හමුවෙන්න පෙත්සමක් අරන් එන්න කිවුවත් ආවේ නෑ, යැයි, අමාත්‍යවරිය පැවසුවාද..?

මේ කියන කතාව සිදුවන දවස (මැයි 08 වැනිදා) පාර්ලිමේන්තුවේ මේ සංවාදය යන අතරතුර කොළඹ දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධාන වෙනවා. උදේ සිටම ඩුප්ලිකේෂන් පාර අවහිර වී ඇතැයිද, පාසල් ගුරුවරයකු අතින් අපහරණයට ලක්වූ දැරියක් සියදිවි නසාගැනීමේ සිදුවීමකට නීතිය ක්‍රියාත්මක නොවීමට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වෙන්නේ යැයිද ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වනවා. උද්ඝෝෂකයින් පෙත්සමක් බාර දීම සඳහා අමාත්‍යවරිය හමුවීමට අවශ්‍ය බවක් දන්වා තිබූ බවකුත් පසුව කියවෙනවා. කොහොම නමුත් පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරියගේ ප්‍රකාශය අතරතුර විපක්ෂයෙන් තවත් අතුරු ප්‍රශ්නයක් විදිහට "උද්ඝෝෂණය කරන අය පෙත්සමක් බාරදෙන්න ඕන බව කියල තියෙනවා, ඒකට මොකක්ද කියන්නේ" වැනි ප්‍රශ්නයක් අමාත්‍යවරියගෙන් අසා තිබෙනවා.

ඒ ප්‍රශ්නයට පිළිතුරක් විදිහට අමාත්‍යවරිය "ඒ කණ්ඩායමට පෙත්සම රැගෙන ඇවිත් මා හමුවන ලෙස මම දැනුම් දුන්නා, නමුත් කවුරුත් මේ වනතෙක් ආවේ නැහැ" යැයි පවසනවා.

දරුවා විශාදයෙන් (Depression)පෙලෙන බව තමන්ගේ කතාවේදී පැවසීම මගින් තමන්ගෙන් වරදක් සිදුවූ බව අමාත්‍යවරිය පිළිගෙන ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා තිබෙනවා සහ එම ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන්ද ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මාධ්‍ය මේ කොටස අල්ලාගෙන "දැරියගේ දෙමව්පියන්ට පෙත්සමක් රැගෙන පැමිණෙන ලෙස දැනුම් දුන්නත් ඔවුන් මේ වනතෙක් නොපැමිණි බවත්, ඒ නිසා නීතිමය කටයුතු කිරීමට නොහැකි වූ බවත්" අමාත්‍යවරිය පැවසුවා යැයි සම්පුර්ණයෙන් විකෘති කරන ලද පුවතක් මාධ්‍ය හරහාත්, විශේෂයෙන් සමාජ මාධ්‍ය හරහාත් ප්‍රචාරය කරනවා.

එවැන්නක් සැබවින්ම පැවැසුවා නම්, එය ඉතා බරපතල තත්වයක් බව සිතන පක්ෂ විපක්ෂ බොහෝ දෙනෙක් ඊට විරෝධය ප්‍රකාශ කරනවා.

වරද කොතනද? ඕනෑම ප්‍රකාශයක්, පුවතක් විකෘති කොට පල කිරීම වරදක්. ඒ වරද අපේ රටේ මාධ්‍ය ආයතන දිගින් දිගටම තමන්ගේ ප්‍රතිවාදී දේශපාලන කණ්ඩායම් හෝ වෙනත් ඕනෑම පුද්ගලයෙක් අලලා සිදුකරමින් ඉන්නවා. ඒක එකක්. දැන් මේ සිදුවීම සම්බන්ධයෙන් අනිකුත් සියලුම පුරවැසියන් මෙන්ම ආරංචි රාළත්, යම් කලකිරීමකට පත් වුනා.

අපි අපේක්ෂා කළ වෙනස වගේම වඩා යහපත් රටක් නිර්මාණය කරාවියැයි අප ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසයට කිසියම් පලුද්දක් මෙවැනි ප්‍රකාශයක් හේතුවෙන් ඇති වූවා කියන කාරණය නිසා එවැන්නක් ඇතිවීම සාධාරණයි. නමුත්, ඇත්තටම සිද්ද වුනේ මොකක්ද කියල හරියටම දැනගන්න ආරංචි රාළට යම් හැකියවාක් තිබුණු නිසා සත්‍ය කුමක්දැයි තහවුරු කර ගත්තත්, පොදුවේ අපේ රටේ පුරවැසියන් හැමෝටම ඒ ප්‍රවේශය නැහැ. එහෙම නම්, වැරදි සමාජගත වන/කරන වේගයට වඩා සිඝ්‍රයෙන් ඇත්තටම සිදුවූ දේ සමාජගත විය යුතුයි.

ඒ වෙනුවෙන් නිසි යාන්ත්‍රණයක්, ක්‍රමවේදයක් නිර්මාණය විය යුතුමයි. .

කොහොම වුනත් අවසානයේ, කාගේ හෝ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් නැවත සැකසිය නොහැකි හානියක් ආණ්ඩුවට සිදුවී ඇත. මේකට සම්බන්ධ අතුරු කතාව සහ ඒ කතාවේ පදනම සොයා බැලුවොත් මීටත් වඩා කැත, හිරිකිත, අප්‍රසන්න දේශපාලනික ව්‍යාපෘතියක් තියෙන බව දැනගන්න ලැබේවි. කෙසේ හෝ, මේ සියල්ල හරහා සිදුවිය හැකි හානිය නම් මේ දැරියගේ සිදුවීම සම්බන්ධ සැබෑ පුද්ගලයින් හඳුනා ගැනීමේ සහ නීතිය හමුවට ගෙන ඒමේ ක්‍රියාවලියට බාධා ඇතිවීම සහ පරීක්ෂණ අයාලේ යාමයි. මේ රටේ බුද්ධිමත් ජනතාව තේරුම් ගත යුත්තේ එයයි.

ආරංචි රාළ; 2025.05.13. 101 දිගහැරුම

 

 

Comments

Popular posts from this blog