නව යෞවනයේ සුන්දරත්වය රිදී තිරය ඔස්සේ කැඳවාගෙන ආ මාලනිය.

'දෙවියනි ඔබ කොහෙද'  චිත්‍රපටයේ රූගත කිරීම් බොහොමයක් සිදු වෙන්නේ මීගමුව දුන්ගාල්පිටිය  මරිය මග්දලේනා දේවස්ථානයේ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ වලය.
එතකොට ආරංචි රාළලා  අවුරුදු දහයක දොළහක පුංචි කොළුගැටයෝ ය. ජීවිතයේ ප්‍රථම වතාවට චිත්‍රපටයක දර්ශන රූගත කරන අවස්ථාවක් නැරඹීම සැබෑ ආශ්චර්යමත් අවස්ථාවක් විය. 

ඒ කාලය තුළ අතිශයෙන්ම ජනප්‍රියත්වයට පත්ව සිටි නළු නිළියන් විශාල ප්‍රමාණයක් මෙම රූගත කිරීම් සඳහා දුන්ගාල්පිටියට පැමිණ සිටියහ. ගාමිණී ෆොන්සේකා ,බැප්ටිස් ප්‍රනාන්දු, එඩි ජයමාන්න ,රුක්මණී දේවි ,ශාන්ති ලේඛා ,ඇන්තනි සී පෙරේරා, සෝමසිරි දෙහිපිටිය ඒ අතර විය ආරංචි රාළ  මාලනි ෆොන්සේකා නම් වූ නිළියව ප්‍රථම වතාවට සජීවී ලෙස දකින්නේ මෙම 1975/76 වකවානුවේදීය.

ආරංචි රාළ  චිත්‍රපට පිස්සෙක් නොවේ.. ඒත් අවස්ථාවක් ලද බොහෝ විට  චිත්‍රපටයක් නැරඹීම ආරංචි රාළගේ   එක් විනෝදාංශයක් වී තිබුණි. ආරංචි රාළට කවදාවත් ප්‍රියතම නිළියක් හෝ නළුවෙක් සිටියේ ද නැත. හොඳට රඟපාන කාටත් ආරංචි රාළ  කැමතිය.
ඒත් මාලනී ෆොන්සේකාට ගැටවර වියේ පටන්ම ආරංචි රාළට  තිබුණේ අමුතුම ආකර්ෂණයකි. ඇය රඟපා ඇති බෝහෝ චිත්‍රපට මම නරඹා ඇති ආරංචි රාළටනම්  ඇය  සැබෑම නිළියකි.

ආරංචි රාළ වැඩියෙන්ම කැමති "බඹුරු ඇවිත්" චිත්‍රපටයේ ඇය රඟපාන හෙළන්ගේ චරිතයටයි.

තමන්ට ලැබෙන ඕනෑම චරිතයක් තුළ ජීවමාන වන්නට ඇයට තිබිච්ච හැකියාව නම් සැබවින්ම ආශ්චර්ය ජනකය. ඇය රඟපෑ 'අපේක්ෂා', 'ආවා සොයා ආදරේ' 'සුසි' සහ 'ආරාධනා' වැනි චිත්‍රපට වලට  ආරංචි රාළ  අසීමිත ලෙස ආදරය කරන්නේ නව යෞවනයේ සුන්දරත්වය රිදී තිරය ඔස්සේ ඇය කැඳවාගෙන ආ නිසාය.

ඇයට ජාත්‍යන්තර සම්මානයක් හිමිවූ 'එයා දැන් ලොකු ළමයෙක් ' ඇය චිත්‍රපටයක් සදහා නිරූපනය කළ අදහා ගත නොහැකි චරිත නිරූපණයකි.

 තමාගේ ජීවිත කාලය තුළදී රංගන ශිල්පිනියක් ලෙස විවිධ චරිත නිරූපණය කිරිමට භාග්‍යය හිමිකරගත් ඇය අවසානය දක්වා සැමගේ ආදරය සහ ගෞරවයට පාත්‍ර වෙමින් දැන් ජීවිතයට සමු දී ඇත.

ආරංචි රාළ මේ විශේෂ දිගහැරුම ඔබවෙත ගෙන එන්නේ  මාලනී සෙනෙහෙලතා  ෆොන්සේකා නම්වූ මේ සැබෑ නිළියට  උපහාරයක් පිණිසය..

 

ආරංචි රාළ - 2025.05.24. විශේෂ දිගහැරුම.

 

(ඡායාරුප : අන්තර්ජාලයෙනි)

 

 

Comments

Popular posts from this blog