මැතිවරණය ජයග්‍රහණයේ තීරණාත්මක සාධකය ඡන්දපොළට ඡන්දදායකයින් කැදවා ගැනීමයි!
පළාත් පාලන මැතිවරණය නැතිනම්, පුංචි චන්දය දැන් අවසානය. ආරංචි රාළද ඊයේ උදෑසනම ඡන්ද පොළට ගොස් තමන් ජයග්‍රහණය කළ යුතු යැයි සිතන දේශපාලන පක්ෂයේ සලකුණට ඉදිරියෙන් තම ඡන්දය ලකුණු කළ බව කියන්නේ ලොකු උද්දාමයකිනි.
පුද්ගලයෙකුට ඇති මූලික අයිතිවාසිකම් එකක් වන්නේ තමන්ගේ නියෝජිතයන් තෝරා ගැනීම සඳහා ඡන්දය පාවිච්චි කිරීමේ අයිතියයි. කෙනෙක් එසේ නොකරන්නේ නම් ඔහු පුරවැසියෙකු වන්නේ නැත. ආරංචි දාල තමා පුරවැසියෙකු බව නැවත තහවුරු කළේය.
මේ වන විට ඡන්ද ප්‍රතිඵල නිකුත් වී ඇති අතර ශ්‍රී ලංකාව පුරා ඇති පළාත් පාලන ආයතන 324 කින් 266 තරම් වූ අති බහුතරයක බලය මේ වනවිට මාලිමාව විසින් හිමි කරගෙන ඇත.
සමහර ආයතනවල ජයග්‍රහණය කළ පක්ෂයට වඩා විරුද්ධ පක්ෂයේ සභිකයන් ප්‍රමාණය වැඩියෙන් සිටින නිසා පළාත් පාලන ආයතනය පවත්වාගෙන යාම පිළිබඳව කිසියම් ගැටළුවක් මතුවිය හැකිය. කෙසේ වෙතත් ජාතික ජල බලවේගයේ නායකයින් අද (07)උදෑසන මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ප්‍රකාශයට පත් කෙරුවේ; මාලිමාව ජයග්‍රහණය කර ඇති සෑම සභාවකම බලය ඔවුන් තහවුරු කරන බවයි. එය හොඳ ස්ථාවරයකි.
විපක්ෂයට වැඩි සභිකයන් ප්‍රමාණයක් සිටින අවස්ථාවකදී සභාවේ නගරාධිපති ධුරය හෝ සභාපතිත්වය දරන පක්ෂයට වැඩි වගකීමකින් කටයුතු කිරීමට සිදුවන අතර ආරංචි රාළ හිතන්නේ එය සැබැවින්ම දැලි පිහියෙන් කිරි කනවා වාගේ වැඩක් කියාය.
වසර ගනනාවක් මේ රටේ පාලන බලය දරමින් අතිවිශාල ජන සහයෝගයක් තිබු, අද කානුපල්ලට වැටී සිටින විපක්ෂය ඉතා කුඩා ප්‍රතිශතයකින් තමන්ගේ ඡන්ද වැඩිකරගෙන දැන් මාධ්‍ය ඉදිරියට පැමිණ මෝඩ චුන් දාන්නට පටන්ගෙන ඇත.
බහුතරයක් නොමැති කණ්ඩායම් එකට එකතු කරගෙන පාලනය අත්පත් කර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය නොවේ. වැලේ වැල් නැතිව සිටින විපක්ෂය ඒ අමන පියවර ගන්නේනම් ආරංචි රාළට කියන්න තියෙන්නේ; "විපක්ෂයට දෙයියන්ගේම පිහිටයි" කියාය.
කෙසේ වෙතත් වසර ගණනාවක් තිස්සේ අතිශයින්ම දූෂිත තත්වයෙන් පාලනය කරනු ලැබූ මෙරට පළාත් පාලන ආයතන මාලිමාවේ පාලනය යටතට පත්වීම ගැන ආරංචි රාළ සතුටු වන අතර ඔවුන් එම පළාත් පාලන ආයතන හොඳින් මෙහෙයවන බව විශ්වාස කරයි.
මේ වන විට බොහෝ දේශපාලන පක්ෂ මෙන්ම දේශපාලන විචාරකයෝ යැයි කියා ගන්නා අය මෙම මැතිවරණයේ ප්‍රතිඵල පිළිබඳව යම් යම් විශ්ලේෂණ ඉදිරිපත් කිරීමට පටන්ගෙන ඇත. සමහර විශ්ලේෂණයන් දකින විට සහ ඇසෙන විට ආරංචි රාළට සැබැවින්ම සිනහ යයි. මක්නිසාදයත්, ඔවුහු මෙම විශ්ලේෂණ කිරීමට පාදක කරගන්නා දේශපාලන සන්දර්භයන් තුළ කිසිදු ප්‍රායෝගිකත්වයක් ආරංචි රාළ නොදකි.
අවසාන වතාවට මෙරට පළාත් පාලන ඡන්දයක් පැවැත්වූයේ 2018 වසරේදීය. ඉන් අනතුරුව මැතිවරණ කීපයක්ම පැවැත්වුවද 2024 දී පවත්වනු ලැබූ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය මේ රටේ සුවිශේෂී දේශපාලන සන්දර්භයක් තුළ පැවැත්වූ බව ඔවුහු කල්පනා නොකරති.
එබැවින් මෙවර පළාත් පාලන මැතිවරණය පිළිබඳව විශ්ලේෂණ කිරීමේදී ජාතික ජන බලවේගය පිළිබඳව සුවිශේෂී කියවීමක් ඇතුව එය කළ යුතු බවයි ආරංචි රාළගේ අදහස.
ජාතික ජන බලවේගය ස්ථාපිත කළ දිනයේ පටන්, එය දේශපාලන ව්‍යාපාරයක් ලෙස මේ වන විට ප්‍රධාන මැතිවරණ පහකට මුහුණ දී ඇත. ඒ 2019 ජනාධිපතිවරණය 2020 මහා මැතිවරණය, 2024 ජනාධිපතිවරණය , මහ මැතිවරණය සහ අවසානයේ 2025 ඊයේ අවසන් වූ පළාත් පාලන මැතිවරණය.
2024 සැප්තැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය අපේක්ෂකයාට 50%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත නොහැකි විය. දෙවන මනාපය ගණන් කිරීම අනුව වැඩියෙන් ඡන්ද ලබා ගැනීම නිසා ඔහු ජනාධිපතිවරයා විය. එහෙත් 2024 නොවැම්බර් මාසයේ පැවැති මහා මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ මාලිමාව සමස්ථ ජන්ද ප්‍රමාණයෙන් සියයට හැට දෙකකට වැඩි ප්‍රතිශතයක් ලබාගෙන අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තේය. සැබවින්ම එය සුවිශේෂී ජයග්‍රහණයක් වන අතර එවන් ජයග්‍රහණයක් පිටුපස තිබූ හේතු සාධක බොහොමයක් ඇත.
ඉන් ප්‍රධාන වන්නේ ජනතා විමුක්ති පෙරමුණ වෙනුවට ජාතික බලවේගය ලෙස පුළුල් සමාජ සංවිධාන සහ බුද්ධිමතුන් කණ්ඩායමක් එක්ව නව දැක්මක් සහ වැඩපිළිවෙලක් සමග මැතිවරණයට ඉදිරිපත් වීමයි.
පසුගියදා මාලිමාව ආණ්ඩුවේ ප්‍රධාන ඇමතිවරයෙකු වූ ලාල් කාන්ත මහතා ප්‍රකාශ කර තිබුණේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සිටින 159 දෙනාගෙන් බොහෝ දෙනෙකුව ඔහු තවම හරියට හඳුනන්නේ හෝ නැති බවය. වක්‍රාකාරයෙන් ඔහු පවසන්නේ ඒ එම 159 දෙනාගෙන් බොහෝ දෙනෙක් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෝ නොවන බවය. ජාතික ජන බලවේගයේ සැබෑ ජයග්‍රහණයට හේතුව වුයේද එයමය.
අවාසනාවකට පළාත් පාලන මැතිවරණය සදහා ඡන්ද අපේක්ෂකයන් තෝරා ගැනීමේදී සහ මැතිවරණය මෙහෙයවීමේදී ජාතික ජන බලවේගයේ මුහුණු වර ජනතාවට නොපෙනුන බවක් ආරංචි රාළට පෙනුනි.
2024 ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය තුළ තිබූ පුළුල් මහජන ව්‍යාපාරයක හැඩය මෙවර මැතිවරණයේදී ජාතික ජන බලවේගය තුලින් ජනතාව නොදැකීම සහ ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයන් ඡන්ද පොළට කැදවීමට මාලිමාවට නොහැකි වීමට ප්‍රධාන හේතුවූ බවයි ආරංචි රාළගේ අදහස.
රැළි වලට, සම්මන්ත්‍රණ වලට සහ පෙළපාලිවලට ජනතාව ඒකරාශී කිරීමට වඩා මැතිවරණයකදී වැදගත් සහ තීරණාත්මක සාධකය වන්නේ ඡන්දපොළට ජනතාව කැදවා ගැනීමයි.
මෙය ජාතික ජන බලවේගය තමන් අතින් සිදුවූ අතපසුවිමකට වඩා උගත් පාඩමක් ලෙස සැලකිල්ලට ගත යුතු බව ආරංචි රාළ අවදාරණය කර සිටියි.
ආරංචි රාළ; 2025.05.08. 97 වන දිගහැරුම
Comments
Post a Comment