දහහතර වන ලියෝ පාප් වහන්සේට ආරංචි රාළගෙන් ලිපියක්!
ඊයේ (08) සවස් භාගයේදී ලෝකය පුරා විසිරී සිටින කතෝලික සභාවේ කාදිනල් හිමිවරුන් එකසිය තිස් පස් දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් එකට එක්වී වතිකානු රාජ්‍යයේ නායකයා සහ කතෝලික සභාවේ ප්‍රධාන එඬේරාණන් ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ රොබට් ප්‍රෙවොස්ට් කාදිනල් හිමිපාණන්ව තෝරා පත් කර ගන්නා ලදී. මෙතැන් පටන් උන්වහන්සේව අප දහහතරවන වන ලියෝ පාප් වහන්සේ ලෙස ආමන්ත්‍රණය කරනු ඇත.
ආරංචි රාළ උන්වහන්සේ පිළිබඳව කිසිවක් දන්නේ නැත. එහෙත් අද පටන් උන්වහන්සේ කවුරුන්දැයි සොයා ගැනීම අපහසු නොවනු ඇත.කතෝලිකයෝ විශ්වාස කරන්නේ මේ තෝරා ගැනීම සිදුවූයේ මහෝත්තම දෙවියන් වහන්සේ කැමැත්ත අනුව බවය. ආරංචි රාළ ඒ ගැන කතා කරන්නේ ද නැත. එහෙත් ආරංචි රාළ දන්නා සැබෑ කිතුදහම ගැන පහත සටහන තබන්නේ දහහතරවන වන ලියෝ පාප් වහන්සේට නිවාඩුවක් ලැබුනු මොහොතක ගුගුල් පරිවර්තනය උපයෝගී කරගෙන කියවා බැලීම සඳහාය.
ගොල්ගොතාවේ ජිවිත පරිත්‍යාගයේ අපේක්ෂාව: අදට වසර 2000කට ආසන්න කාලයකට පෙර ජුදයාවේ, හොරුන්, මංකොල්ලකරුවන්, මීනී මරුවන් සහ රාජ්‍ය විරෝධී කැරළි කරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමෙන් අනතුරුව රෝම අධිරාජ්‍යයේ පාලකයින් විසින් මරණ දඬුවම තීන්දු කිරීමෙන් අනතුරුව කුරුසයේ ඇන ගසා මරණයට පත්කරන ලද්දේ ගොල්ගොතා කන්දේ දීය.
අලුත් අහසක් සහ අලුත් පොළොවක්! ජනතාව දිගින් දිගටම සමාජීය දේශපාලනික සහ අධ්‍යාත්මික වශයෙන් පීඩාවට පත් කරමින් තිබූ එවකට පැවැති ජුදා දහමේ අවභාවිතයට එරෙහිව එම සමාජය තුළ යුක්තිය සහ සාධාරණත්වය පිළිබඳව නව දහමක් තුළින් අලුත් අහසක් සහ අලුත් පොළොවක් පිළිබඳව දේශනා කළ නාසරෙත්හි ජේසුව ඊනියා ආගමික නායකයන් සහ බළධාරීන් විසින් ආගමික සහ රාජ්‍ය විරෝධී කැරළි කරුවකු ලෙස හංවඩු ගැසීමෙන් අනතුරුව, රෝම අධිරාජ්‍යයෙන් බලහත්කාරයෙන් මරණ දඬුවම තීන්දුව ලබාගෙන කුරුසපත් කර මරා දමනු ලැබුවේද මෙම ගොල්ගොතා කන්දේ දීමය.
පළමු පාප්තුමා ධීවරයෙක්. එවන් කෘෘර මරණයකට උරුමය ලද නාසරේත්හි ජේසුගේ ඉගැන්වීම් මත බිහිවු නිර්මල කිතු දහමේ ජේසුගේ ප්‍රථම මෙලොව නියෝජිතයා (පාප්වරයා) වන්නේ ගලීල මුහුදේ මසුන් මරන්නෙකු (ධීවරයෙකු)වූ සීමොන් පේදුරුය. රෝමයේ කිතු දහම පතුරුවන අවස්ථාවේ සීමොන් පේදුරු ව රෝම අධිරාජ්‍යය විසින් ඝාතනය කරනු ලැබීය. කිතුදහම රෝම අධිරාජ්‍යයේ රාජ්‍ය ආගම බවට පත්කර ගැනීමත් සමග එම උතුම්වූ පාප් පදවිය රන් රිදී ආභරණයෙන් සහ සළු පිළි වලින් සැරසී ඔටුනු පැළඳ වූ රජකෙනෙකු අතට පත් විය.කිරිගරුඬින් සැදූ අතිසුඛෝපභෝගී අහස උසට විහිදෙන මහා මාලිගා සහ දෙව්මැදුර වතිකානුවේ ඉදිවන්නේ ඒ නිසාය. පසුගියදා ස්වර්ගස්ථ වූ ප්‍රැන්සිස් පාප් වහන්සේ මේ තිත්ත ඇත්ත හොඳින් වටහාගෙන සිටියහ.
අතිශයින්ම ආයතනික ගතවී සීමිත පූජක සහ වරප්‍රසාද ලත් පිරිසක් තමන්ගේ බූදලයක් බවට පත් කරගෙන සිටින කතෝලික සභාව බහුතර ජනතාවක් අතට පත් කරන්නට විවිධ ක්‍රියාමාර්ග ඉදිරිපත් කළේ ඒ නිසාය. ආරංචි රාළ ඒ සියල්ල කතෝලික සභාවේ ප්‍රගතිශීලි පියවරයන් ලෙස සලකයි. මේ නිසාම පැහැදිලි ලෙස සභාව තුළ ප්‍රගතිශීලී සහ ප්‍රතිගාමී ලෙස කණ්ඩායම් දෙකක් බිහි වී ඇත. අලුත් පාප් වහන්සේ මේ ගැන හොඳින් දැනගෙන සිටිනවා විය හැක. මක්නිසාද යත් උන්වහන්සේ ප්‍රැන්සිස් පාප් වහන්සේගේ සමීපයකු ලෙස කටයුතු කර ඇත. කෙසේ වෙතත් පහත සටහන නම් නොතියා සිටින්නට බැරි ය.
" නිර්මල කිතු දහම වටහා ගත යුත්තේ පට්ට පල් හොරුන් දෙදෙනෙකු මැද කුරුසියේ ඇණ ගසා ඝාතනය කරනු ලැබූ ජේසුගේ උත්ථානයේ අපේක්‍ෂාව තුළින් මිස අහස උසට ඉදිකර ඇති මහා දෙව් මැදුරුවල කිරිගරුඬ අල්තාර ඉහළින් තබා ඇති කුරුස පත්කර ඇති ජේසුගේ පිළිම වලින් නොවේ "
ආරංචි රාළ 2025.05.09 - 98 වන දිගහැරුම
Comments
Post a Comment