ආදරය පැල කරන්න බැරි නම් අපි භූමිය අල්ලගෙන මොකටද? 

“සහෝදරය යුධ ජයග්‍රහණය ගැන මුකුත් ලියන්නෙ නැද්ද ?”  මට එහෙම පණිවුඩ එනව.

මගේ උත්තරය; "මට ජයක් කියල එකක් දැනෙන්නෙ නෑ සහෝදරය.තියන ලොකුම සතුට තමයි දැන් එකිනෙකා මරා නොගන්න එක. ඒ එක්කම ලොකු ශෝකයක් තියනව. මරාගත්තෙ එකම රටේ නෑදෑයො නේද සහෝදරය ?

දකුණෙත් උතුරෙත් සමහර ගෙවල්වල තාත්ත නැති දරු⁣වො,ස්වාමි පුරුෂය අහිමි බිරින්දෑවරු,දරුව අහිමි අම්මල.

තව තැනක අබාධිත සටන් සගයො.

කවුද වගකිව යුත්තො ?

නිදහසෙන් පස්සෙ මේ රට බාරගත්ත පාලකයො නෙවෙයිද සහෝදරය ?

උන් හදපු යුද්ධයෙ නිවට ගොදුර උනේ උතුරෙත් දකුණෙත් මගේ පන්තියෙ මිනිස්සු.

ඒ මිනිස්සුන්ට තියෙන්නෙ හිත රිදෙන මතක. ඒව සමරන්න තරම් සතුටුදායක නෑ සහෝදරය.

අදත් මට ලෝකෙ කොහේ හරි ඇවිලෙන යුද්ධයක් විශාල වේදනාවක්.ඒක සකලවිධ මනුෂ්‍යත්වයට ආදරයට එරෙහි කෲරත්වයක්.ඒ කඳුළු දරන්න බෑ සහෝදරය.

අපිට දැන් ඕන සැමරීම් නෙවෙයි යුධ වින්දිතයන්ට යුක්තිය ඉටු කරන සාමකාමී සමාජයක්..සියලු ජාතීන් ආදරයෙන් මුසුවන රටක්..මම ඒ නිසා එදා ලියපු කවියක් තියනව.


"කාලතුවක්කුවකට පුළුවන්

අල්ලගන්නට

වතු පිටි

ඉඩකඩන්

ඒත් මොකටද ?

ආදරය පැල කරන්නට බැරි

වෙඩි බොහෙත් පතුරන්"

ආදරය පැල කරන්න බැරි නම් අපි භූමිය අල්ලගෙන මොකටද සහෝදරය.ආදරය පැලකළ භූමියක විතරයි නැවත යුද්ධයකට ඉඩක් නැත්තෙ.ලෝකය ඕක තේරුම් ගන්න තුරු ම අනාරක්ෂිතයි සහෝදරය.

රවී සිරිවර්ධන

යුද්ධය ගැන ඊයෙත්, අදත්, හෙට පමණක් නොව තව බොහෝ කාලයක් එකිනෙකා බොහෝ දේවල් කතා කරනු ඇත. ඒ බොහෝ දෙනෙකුට මේ යුද්ධය නාකි බල්ලෙකුට ලැබුණු මස් කට්ටක් වැනිය.කටුවේ තදට කටේ විදුරු මස තුවාලවී එන ලේවල රස බල්ලා තලු මර මර රසකර කෙල ගිලින්නා සේ  තමාගේම ලේ රසවිදිනා බව මේ නාකි බල්ලා නොදනී. 

යුද්ධය නිර්මාණය කළ උන් අවසානයේ තමන්ගේ බෙල්ලට තොන්ඩුව හිරවෙන තුරු දැන  සිටියේ නැත. අවසානයේ යුද්ධය අවසාන විය.හැම පැත්තේම  පරාජිතයෝ මිස ආරංචි රාළට නම් ජයග්‍රාහකයෙක් හමුවන්නේ නැත. එවන් ජයග්‍රහණයක් නැති යුද්ධයක් සමරන්නේ කෙසේදැයි ආරංචි රාළටනම්  සිතා ගන්නවත් බැරිය.

සාහිත්‍යවේදී රවී සිරිවර්ධන බොහෝ දේවල් පිළිබදව වෙනස් විදියකට දකින්නට උත්සාහ කරන කෙනකි. අද දින ඔහුගේ මුහුණු පොතට  ඔහු ලියු සටහන ආරංචි රාළ උපුටා ගන්නේ යුද්ධය නිසා මියගිය, තුවාල සිදුවූ සහ තවමත් අවතැන්ව සිටින සියලු දෙනා මතක්කරමිනි.

ආරංචි රාළ : 2025.05.18 - 104  දිගහැරුම

 


Comments

Popular posts from this blog