හොර ගිවිසුම් ගැසුවේ කවුද?
පසුගිය ජනාධිපතිවරණයේදී සියයට 2.57% ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන, මහ මැතිවරණයේදී යාන්තම් පොහොට්ටු ලබාගත් ඡන්ද ප්‍රමාණයට හිමිව තිබූ කෝටාවෙන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගා ගත් නාමල් රාජපක්ෂ ආණ්ඩුවේ හොර ගිවිසුම් හෙළි කරමින් ඇඟ පුරාම අසූචි නා ගනිමින් සිටිනවා ආරංචි රාළට පෙනේ .
මේ ප්‍රතික්ෂේපිත දේශපාලකයාට අනුව ලංකාව සහ ඉන්දියාව අතරේ හොර ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතය. ඉන්දීය අගමැති මෝඩි හතර (04) වනදා ලංකාවට පැමිණෙනු ඇත. එම ගිවිසුම අත්සන් කළහොත් ලංකාව මහ බලවතුන්ගේ ආක්‍රමණයකට ගොදුරු වීමට ඉඩ තිබේලු.
ආරංචි රාළට පොඩි ප්‍රශ්නයක් ඇත. ගිවිසුම හොර එකක් නම් නාමල් ඒ බව දන්නේ එය කියවා බලා විය යුතුය. පාර්ලිමේන්තුවටද නොදන්වා ඉන්දියාව සමඟ අත්සන් කිරීමට නියමිත ගිවිසුමක් නාමල්ට කියවීමට දී තිබේ නම් එතන ඔහු හා ආණ්ඩුව අතර රහස් ගනුදෙනුවක් තිබෙනවාමය. එබඳු හොර ගනුදෙනු ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිය.
19 වන සියවසෙන් මෙපිට ඉතිහාසය තුළ, 1815 උඩරට ගිවිසුමේ සිට මේ දක්වා ලංකාව විවිධ රාජ්‍යයන් සමඟ ගිවිසුම් රැසක් ඇති කරගෙන තිබේ.
සමහර ඒවා හොර ගිවිසුම් බවත් සැබෑය. මේ ගිවිසුම් අතරේ, රටට පූර්ව නිදහස එපා කියමින්, ඩොමිනියන් තත්ත්වය සෑහේ යැයි කියමින්, ඊනියා ජාතියේ පියා වූ ඩී.එස්. ලා බ්‍රිතාන්‍යය කිරීටය සමග ඇති කරගත් ගිවිසුම, ලංකාවේ ආරක්ෂාවට යැයි කියමින් වරාය, ගුවන්තොටුපළ, හමුදා කඳවුරු, ඉංග්‍රීසීන්ට පවරා දුන් ගිවිසුම, චීනය සමග ඇතිකර ගත් රබර්-සහල් ගිවිසුම, LTTE සමග අත්සන් කළ ගිවිසුම්, හම්බන්තොට වරාය ගිවිසුම,
IMF සහ විවිධ රටවල් සමග අත්සන් කළ ණය ගිවිසුම්, ආරංචි රාළට නම් අමතක නැත.
ජපානය ලංකාවට බෝම්බ දැම්මේත්, LTTE යට මුදල් සහ ආයුධ ලැබුණේත්, හම්බන්තොට වරාය චීනයට හිමිවුනේත්, IMF සහ ණයදුන් රටවල් ලංකාව අල්ලේ නටවන්නේත් මෙවැනි ගිවිසුම් වලට පින් සිද්ධ වන්නටය.
එහෙත් මේවා ජනතාවගේ අනුදැනුමකින් හෝ අවසරයකින් අත්සන් කළ ඒවාදැයි නාමල් දන්නේත් නැත. මේ සියලුම ගිවිසුම් වලට වඩා ආන්තරාදායක ගිවිසුම නම් රාජපක්ෂලාගේ පෝර්ට් සිටි ගිවිසුමය. පෝර්ට් සිටිය ලංකාවේ තිබුණාට එහි අයිතිකාරයා චීනයයි. චීනයෙන් බැහැරව පිහිටි එකම චීන භූමිය වන්නේ ලංකාවේ පෝර්ට් සිටියයි.
දශක හතක පමන කාලයක් තිස්සේ චීනය හා යුද්ධවල පැටළී සිටින ඉන්දියාව පෝර්ට් සිටිය සළකන්නේ තම රටට තර්ජනයක් ලෙසය. එය සැළකිය හැක්කේ තම සතුරු රාජ්‍යය වන චීනය විසින් ඉන්දියාව පාමුළ බිම් බෝම්බයක් ඇටවීමක් ලෙසය.ඒ නිසා ඉන්දියාව තම රාජ්‍යයේ ආරක්ෂාව ගැන සැළකිලිමත්වීම පුදුමයක් නොවේ.
මේ අනතුරට මඟ පෑදුවේ තම පාලනය විසින් බවත් නාමල් නම් වූ ළදරු දේශපාලකයාට අමතක වී තිබෙන්නට පුළුවන.
ආරක්ෂක හෝ වෙනත් ගිවිසුම් ඇතත් නැතත්, ලංකාව ඉන්දියාව සමඟ මිත්‍රත්වයෙන් කටයුතු කිරීමේ වාසිය ඇත්තේ අපටමය. දැනටමත් විවිධ ගිවිසුම් හරහා ඉන්දියාව, ලංකාව තුළ සිදු කරන විවිධ සංවර්ධන කටයුතුවලට ආධාර සපයමින් සිටියි.
නාමල්ලා පාර්ලිමේන්තුව තුළ කෙහෙළියආරක්ෂා කරද්දී, ඔහුගේ "වතුර බෙහෙත් " නිසා රෝගීන් මිය යද්දී, ඖෂධ මිළට ගැනීමට ලංකාවට මූල්‍ය ආධාර ලබා දුන්නේ ඉන්දියාවය.එපමණක් නොව ඉන්දියාවේ මිහිඳු හිමියන්, සංඝමිත්තාවන්, හේමාලා කුමරිය සහ දන්ත කුමරු නොවන්නට, නාමල්ලාට වඳින්නට බුදු දහම, ශ්‍රී මහා බෝධිය හෝ දළදා හිමි හෝ ලැබෙන් නැත.
ලංකාවද මේ සියලු තත්ත්වයන් අවබෝධ කරගෙන කටයුතු කළ යුතුව ඇති බව ආරංචි රාළ ආණ්ඩුවට මතක් කර දෙයි.
ආරංචි රාළ -
(ෂෙල්ටන් පිරිස්ගේ සටහනකට අනුවය.)
Comments
Post a Comment