සාමය පිලිබදව අලුත් පරිච්චේදයක් ලියන්නට සුදානම් වන සෙයිනබ් ෂාෆි දියණිය.
මම තාත්තාට වඩා හොඳ වෛද්‍යවරියක් වෙනවා. තාත්තාට අපහාස කරපු හැමෝටම ප්‍රතිකාර කරනවා.
වෛද්‍ය ෂාෆි පිළිබද මතකය අලුත් කරමින් බලය වෙනුවෙන් මිනිසුන් නොමිනිසුන් බවට පත්වූ ඒ ඒ සාපලත් අදුරු කාල පරිච්චේදයට ඔබව නැවත රැගෙන යන්නට ආරංචි රාළට අවශ්‍ය නැත.
මේ ඡායාරූපයේ දකින ආකාරයට වෛද්‍ය ෂාෆිගේ දෑතට මාංචු දාගෙන අරගෙන යන්නේ ඔහු කිසිසේත්ම නොකළ වරදකටය.
එදා බොහෝ පිරිසක් මේ සිර ගත කිරීම අනුමත කළා. එකට හේතුව උනේ මේ රටේ ජඩ මාධ්‍ය විසින් ඔහුගේ නිර්දොශිබව කීමට කිසිදු අවස්ථාවක් නොදී තමන් විසින්ම කැදවූ අධිකරණ තුළ ඔහුව වරදකරුවෙකු කිරීමයි. සත්‍ය දැනගෙන සිටි සීමිත මිනිසුන් හදවතින් කම්පා වූ අතර මේ සටහන මුහුණු පොතට ලියා තිබු බණ්ඩාර තිලකරත්න ද එවැන්නකි.
බණ්ඩාර තිලකරත්න ලියු සටහන, කිසිදු වෙනසක් නොකර ආරංචි රාල ඔබ සමග බෙදා ගන්නේ සාමය පිලිබදව අලුත් පරිච්චේදයක් ලියන්නට මේ දියණිය සුදානම්ව සිටින නිසාය.
"මගේ හදවතට වැඩියෙන්ම දැනුණේ මේ අපරාධකරුවෙකු ලෙස හංවඩු ගසන ලද වෛද්‍යවරයාගේ වැඩි මහලු දියණිය එවකට මා සේවය කළ මලියදේව බාලිකාවේ ශිෂ්‍යාවක ලෙස අසරණවූ අවස්ථාවේදීය. මා ඒ පිළිබඳ මුහුණු පොතේ ලියා ඇත. සෙයිනබ් ෂාෆි නවය වසරේ ඉගෙන ගනිමින් සිටියා ය. තම පියාණන් නොකළ වරදකට සිරගත වෙද්දී ඇය මලියදේව බාලිකාවෙන් සදහටම පිටව ගිය අයුරු මගේ ජීවිතයේ කිසි දිනෙක අමතක නොවේ. ඉන් පසු ඇය ගත කර තිබුණේ අතිශය වේදනා කාරී ජීවිතයකි. එහෙත් ඒ සියලු බාධක මැද ඇය අධ්‍යාපනය ජය ගත්තා ය. සාමාන්‍යපෙළ විභාගය 9A සහිත ව සමත් වූවා ය. ඇය සමත් වූ බව සමාජ මාධ්‍යයෙන් දුටු මම අසීමිත සතුටකට පත් වුණෙමි.
"මම තාත්තාට වඩා හොඳ වෛද්‍යවරියක් වෙනවා. තාත්තාට අපහාස කරපු හැමෝටම ප්‍රතිකාර කරනවා."
ඇය සාමාන්‍යපෙළ ප්‍රතිඵලයෙන් පසුව අධිෂ්ඨානශීලීව පැවසුවාය. අද නැවත ඇගේ හඬ මගේ දෙසවනට ආවේ උසස් පෙළ ප්‍රතිඵල සමගයි.
"සර්, මම ෂෙයිනබ්. සර්ට ප්‍රතිඵල කියන්න කතා කළේ. දිස්ත්‍රික් රෑන්ක් එක 12. මෙඩිසින් යන්න පුළුවන්."
දියණියනි, ඔබ දිරිය දියණියකි. ඔබටත් ඔබේ පවුලටත් සමාජයෙන් හුදෙකලා කොට වෛරය මුදා හළ සමාජයට ඔබ ඉලක්කයට ම පහර දී ඇත. මේ රෝගී වූ සමාජය සුවපත් කරන්නට ඔබට නැණ ගුණ සමග යෝධ බල යෝධ වීරිය ලැබේවා.
බණ්ඩාර තිලකරත්න
ආරංචි රාළ ; 2025,04.27 - 91 වන දිගහැරුම
Comments
Post a Comment