ලෝකය වෙනස් කරන්නට හැකියාව ඇත්තේ ලෝකය පිළිබඳව හොඳ විග්‍රහයක් කළ හැකි කෙනෙකුට පමණි. එහිදී රවීන් පියතුමා ඉදිරියෙන්ම සිටියේය.
ගරු කිතුදස් රවීන් පෙරේරා පියතුමා මනුලොව ජිවිතයට සමුදී මේ වනවිට වසර 5 කි. රවීන් පියතුමා ගැන ආරංචි රාළට ඇත්තේ වෙනම මතකයක් සහ සම්බන්ධතාවයකි. ඒ ඔහු ආරංචි රාළගේ සමවයසේ සිසුවකුව සිටි නිසාය.
එකම පාසලක අධ්‍යාපනය නොලැබුවද එකට පාසල් ගිය සැමදා මුණගැසෙන දයාබර මිතුරෙකි.
මීගමුව මාරිස් ස්ටෙලා විදුහලේ අධ්‍යාපනය ලැබූ රවීන් පාසල නිම වූ පසුව මීගමුවේ සිට තමා ජීවත් වූ පමුණුගම ප්‍රදේශය දක්වා ගමන් ගත්තේ බස් රථයෙනි. එය පාසල් සිසුන්ගෙන් පිරී තිබුණි. බස් රථය සැබවින්ම කාලගෝට්ටියක් විය. ඒත් මේ කාලගෝට්ටිය අතර සිටි ඉතාමත් නිහඬ තැනැත්තෙක් වූයේනම් ඒ රවීන් ය. ඔහු වැඩිය ශබ්ද නගා කතා කළේ නැත. එහෙත් කතා කරන වචන වල ඉතා ගැඹුරු තේරුමක් විය. කෙනෙකු සමග දොඩමළු වන හැම විටකම ඔහුගේ මූණේ සුන්දර සිනාවක් මතු විය. ඔහු සැබවින්ම සෑම අතින්ම සම්පුර්ණවූ කඩවසම් කෙනෙකුවිය.
පාසල් විය නිමවීමත් සමගම රවීන් කතෝලික පූජකවරයෙක් වීම සඳහා බදුල්ලේ 'හාවඩන්" දෙව්සත්තලට ඇතුල් වී තිබුණි. ඉන් අනතුරුව ආරංචි රාළට රවීන් මුණ ගැසෙන්නේ ගරු රවීන් පෙරේරා පියතුමා ලෙසය.
වෘත්තීයම කටයුත්තකදී දෙවන වර මුණගැසෙන්නේ අම්පිටිය ජාතික දෙව්සත්තලේදී එහි පූජක සිසුන්ගේ දර්ශනය පිළිබඳ කතිකාචාර්යවරයා ලෙසය.
දේව ධර්මය පිළිබඳ ඔහුට තිබුණේ ගැඹුරු දැනුමක් සහ අත්දැකීමකි. බයිබලයේ සත්‍යය එලෙසම ජනතාවට ප්‍රකාශ කරන්නට ඔහුට ලොකු හැකියාවක් තිබුණි. ඒ ඔහු ගැඹුරින් දේව ධර්මය පිළිබඳව අධ්‍යයනයක නිරත වූ නිසාය.
මුහුකුරා ගිය මිනිසුන් ලෙස ආරංචි රාළට රවීන් පියතුමා මුණගැසෙන විටද ඔහුගේ ඒ මුහුණේ තිබූ සුන්දර සිනාව අඩුවී තිබුණේ නැත.
සමාජය වෙනස් කරන්නට හැකියාව ඇත්තේ සමාජය පිළිබඳව හොඳ විග්‍රහයක් කළ හැකි කෙනෙකුට පමණි. එහිදී රවීන් පියතුමා ඉදිරියෙන්ම සිටියේය.
ඒත් දෙවියන් වහන්සේගේ කැමැත්ත ඊට වඩා වෙනස් එකක්ව තිබුණි.
තව බොහෝ කාලයක් කතෝලික සභාව තුළ සැබෑ පූජකවරයකු ලෙස මහඟු කාර්යභාරයක් කරමින් දේව ජනතාවට අර්ථවත් සේවයක් කළ හැකිව තිබියදී ඔහුගේ මනුලොව දිවිය අවසාන කරන්නට දෙවියන් වහන්සේ තීරණය කර තිබුණේ කුමක් වූ හේතුවක් නිසා විය හැක.
සුවද කුසුම් ඇයි මෙතරම් හනිකට පරවෙන්නේ? හෙළයේ මහා ගයකයකුව සිටි සුනිල් ශාන්තයන් තම උගත් තරුණ පුතකු හදිසි අනතුරකින් මියගිය විට ඔහුට උපහාරයක් ලෙස ගැයූ මේ ගීතය අදට වසර පහකට පෙර ගරු කිතුදස් රවීන් පෙරේරා පියතුමා මියගිය පුවත ඇසීමෙන් ආරංචි රාළගේ මනසේ හොල්මන් කරන්නට විය.
උන්වහන්සේගේ දයාබර නැගණියවූ වෛද්‍ය රෝෂනී පෙරේරා තවමත් මේ ප්‍රශ්නයම ප්‍රශ්න වැලක් ලෙස වෙනත් ආකාරයකින් අසයි.
" මේ තරම් යහපත් මනුෂ්‍යයකුව දෙවියන්වහන්සේ තවත් වසර ගණ්‍නාවක්ද මිහිපිටි තබා නොගත්තේ මන්ද ?"
" ඔහු වැනි බුද්ධිමත්, දක්ෂ , තරුණ පියතුමකුගේ සේවය ශ්‍රී ලාංකීය කතෝලික සභාවට අහිමි කළේ ඇයි?"
"පියතුමා තවත් කාලයක් ජීවත්ව සිටියානම් දේව සභාවේ උන්නතිය සහ බදුල්ල පදවිය සදහා බොහෝ සේවයක් කරන්නට තිබුනා නොවේද? සියඹලාඩුව ජනතාට දේවස්ථානයක් සාදා ගැනීමට උන්වහන්නසේ තුළ තිබූ නොපසුබට උත්සාහය දෙවිදුන් නොදුටුවාද ?"
"පියතුමා රෝගාතුරුව සිටින විට අප කළ සියලු යාච්ඤාවලට සිදුවූනේ කුමක්ද? දෙවියන් වහන්නසේ නිහඬ ඇයි?"
"ලංකාවේ හොඳම වෛද්‍යවරුන්ට පවා ඔහුගේ රෝගය හඳුනා ගැනීමට බැරිවුනේ ඇයි? දිව්‍ය වෛද්‍යවරයාණන් අහක බලා සිටි නිසාද?රෝගය උත්සන්න වූ කල ලංකාවේ සිට පිටරටකටවත් ගෙන යාමට දෙවිඳුන් ඉඩ නොදී ගුවන් තොටුපළවල් පවා වසා දැමුවේ ඇයි?"
"කොරෝනා වසංගතයේ නොමැති කාලයක පියතුමා ලෙඩ වූවානම් ඔහුව බේරා ගැනීමට තිබුණා නොවේද? "
"පමුණුගම අන්නාවි පරම්පරාවෙන් දෙවිඳුන්ට හා දේවස්ථානයට කළ සේවය ජුසේ මුනිතුමාට නොපෙනුනාද?"
" ප්‍රේමාන්විත මහා සාධාරණ දෙවියන් වහන්සේ මෙතරම් කෲරද?"
"ඔබ අපෙන් වෙන්ව දෙවියන් වෙත යාම අප කෙසේ දරා ගන්නද ඔබ වැනි අයෙකුගේ සේවය සමාගමය මිත්‍රශීලී බව අප වෙතින් ඉක්මන් ඉක්මනින් අවසන් කළේ ඇයි?"
කිතුදස් රවීන් පෙරේරා පියතුමා ගැන තව බොහෝ දේ ලියන්නට ආරංචි රාළට හැකිය. එහෙත් දැන් මෙම සටහන අවසන් කළයුතුව ඇත.
ඔබට සදා මොක්සුව පතමු.
ආරංචි රාළ 2025.04.26 - 90 දිගහැරුම
Comments
Post a Comment