බෞද්ධ දර්ශනය ලෝකයටම ගෙන ගිය ශ්‍රී ලංකාවේ කිතුනු පඬිවරයාණෝ.

 ආචාර්ය ඇලෝසියස් පීරිස් පියතුමා පිළිබඳව බොහෝ අය අද දින බොහෝ දේවල් ලියනු ඇත, කියනු ඇත. මක්නිසාදයත්, අද උන්වහන්සේගේ උපන්දිනයයි. කතෝලික පියතුමෙකු වුවද උන්වහන්සේව  ලෝකය හඳුනා ගන්නේ බෞද්ධ දර්ශනය පිළිබඳව පරතෙරට ගිය විද්වතෙකු සහ ආචාර්ය වරයෙකු ලෙසය.

යුරෝපයේ විශ්ව විද්‍යාල ගණනාවකම බෞද්ධ දර්ශනය පිළිබඳව ආචාර්යවරයෙකු ලෙස සේවය කර ඇති මෙතුමාගේ ගෝල බාලයෝ ලෝකය පුරා විසිරී ජීවත් වෙති.

ආරංචි රාළට ඇලොයි පීරිස් පියතුමා මුණ ගැසෙන්නේ 1982 වසරේදී කැලණියේ උන්වහන්සේගේ තුලන කේන්ද්‍රයේදීය. ඒ කාලේ මෙම කේන්ද්‍රය  වචනයේ පරීක්ෂමාර්ථයෙන්ම පරිසරය සමග  සමතුලිතාවය රැකෙන ආකාරයෙන් නිර්මාණය කර ගොඩනගා  තිබූ කුඩා නිවහනකි. උන්වහන්සේගෙන් සේවය ලබාගන්නා පිරිස සහ උන්වහන්සේ ලබා දෙන්නාවු සේවයේ ක්ෂේත්‍රයන්  පුලුල් වීමත් සමගම අද තුලන කේන්ද්‍රය ලෙස අප දකින විශාල ගොඩනැගිල්ලක් බවට එය  පරිවර්තනය වී ඇත. ඒ පිළිබඳව ආරංචි රාළට නම්  ප්‍රශ්නයක් නැත. මක්නිසාදයත් උන්වහන්සේ එදා විශ්වාස කළ සත්‍යය කිසිදු වෙනසකින් තොරව අදත් එලෙසම විශ්වාස කර මින් එම සත්‍යයම ලෝකය පුරා පතුරවා සිටින්නේය..

ශරීරයෙන් ඉතා කුඩා මිනිසෙකුවු  එසේම කිසියම් ආකාරයක උගුර බැරන්ඩි වූ කෙනෙකුගේ මුවින් පිටවෙන හඬ ශබ්දයකින් කතා කරන උන්වහන්සේ ගේ වචනවල තිබුනේ අතිශයින්ම ආකර්ෂණීය බවකි. බයිබලය පිළිබඳව කතා කිරීමේදී උන්වහන්සේ හැමවිටම පැවසූ දෙයක් වූයේ එය දේව "වචනය" බවයි. මේ වචනය තුළ ඇති බලවත් බව සහ සත්‍ය පිළිබඳව උන්වහන්සේ දිගින් දිගටම කතා කරන්නට විය.

දේව වචනයේ ඇති අර්ථවත් බව තීව්‍ර ලෙස ජනතාවට සන්නිවේදනය කරන්නට උන්වහන්සේට තිබුණේ පුදුම හැකියාවකි. මුල් බයිබලය ලියවී ඇති හෙබ්රු සහ ග්‍රීක භාෂාවලින්ම එය කියවීමේ හැකියාව උන්වහන්සේට තිබූ නිසා වෙනත් භාෂා වලට පරිවර්තනය වූ බයිබල් වලින් කියවෙන්නාවූ පණිවිඩය සැබෑ දේව වචනයම දැයි ඕනෑම කෙනෙකුට අභියෝග කිරීමේ හැකියාව උන්වහන්සේට තිබුණි.

ජේසු නිකායේ පූජකවරයෙකු ලෙස අධ්‍යාපනය කෙරෙහි වැඩි නැඹුරුවක් දැක්වූ උන්වහන්සේ "දැනුම" ලෝකයේ සැබවින්ම වෙනස් කරන බව තදින් විශ්වාස කළහ.ආරංචි රාළට උන්වහන්සේ ගැන බොහෝ දේවල් ලියන්නට හැකිය. එහෙත් මෙම සටහන කෙටි කළ යුතුව ඇත.

ආරංචි රාළ උන්වහන්සේට සුභ උපන්දිනයක්  ප්‍රාර්ථනා කරයි.

" සුවඳ කුසුම් ඇයි මෙතරම් හනිකට පරවන්නේ හනිකට පරවන්නේ..."

කෑගල්ල දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ නවක මන්ත්‍රී කෝසල සහෝදරයාගේ අභාවය පිළිබඳව පුවත දැන ගැනීමෙන් ආරංචිරාළ සැබවින්ම කම්පනයට පත්ව සිටියි. රූපවාහිනියේ සහ සමාජ ජාලය ඔස්සේ විකාශය වූ කෝප් කමිටුවේ විමර්ශනවලදී කෝසල මන්ත්‍රීවරයා දැරූ ස්ථාවරය සහ ප්‍රකාශ කළ අදහස් මෙන්ම ඔහු විමර්ශනය කටයුතුවල නිරත වුණු ආකාරයෙන් මේ රටේ අනාගතය ගොඩනගන්නට සැබවින්ම කැපවීමෙන් පමණක් නොව හැකියාවෙන් සහ දැනුමෙන්  ද යුතු තරුණ මන්ත්‍රීවරයකු ලෙස ආරංචි රාළ ඔහුව හඳුනා ගත්තේය.

එහෙත් හදිසියේම ඔහු මිය ගොස් ඇත.

ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය වාමාංශික දේශපාලකයකු මිය ගිය අවස්ථාවේ සංගීතවේදි සුනිල් ශාන්තයන් ඔහු වෙනුවෙන් මෙවැනි ගීයක් ගැයුවේය.මේ ගීතයේ මුල් පද සඳහන් කරමින් ආරංචි රාළ කෝසල මන්ත්‍රීවරයා පිළිබඳව සටහන නතර කරයි.

" සුවඳ කුසුම් ඇයි මෙතරම් හනිකට පරවන්නේ හනිකට පරවන්නේ..."

 ආරංචි රාළ - 2025 .04. 09-  801වන දිගහැරුම

 

 


 

Comments

Popular posts from this blog