මීගමුව තලාහේන පාස්කු නාට්‍යය; සාම්ප්‍රදායික පාස්කු කලාවේ නූතන ප්‍රවේශයයි.

ශ්‍රී ලංකාවේ පාස්කු නාට්‍ය කලාවට ඇත්තේ පෘතුගීසි පාලන සමය දක්වා ඈතට විහිදෙන ඉතිහාසයකි. කැලණිය සරසවියේ ක්‍රිස්තියානි සංස්කෘතික අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විජිත් රොහාන් ප්‍රනාන්දුට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම පාස්කු නාට්‍යය ඉදිරිපත් කර ඇත්තේ එවකට ශ්‍රී ලංකාවේ සිටි ප්‍රැන්සිස්කන් මිෂනාණීවරයෙක් වූ ඇන්ටෝනියෝ පිඇක්ෂිටෝ  පියතුමාගේ මූලිකත්වයෙන් 1590 කාල වකවානුවේදීය. වසර ගණනාවක් තිස්සේ මෙම නාට්‍යය එහි එන විවිධ  චරිත සදහා පිළිම (සුරුවම්) භාවිතා කරමින් ඉදිරිපත් කරන ලද අතර ශ්‍රී ලාංකික කතෝලිකයෙකුවූ කේ.ලෝරනස් පෙරේරා 1923 පාස්කු නාට්‍යය සංදර්ශනයට සම්බන්ධ වී ඇත.

කාලයක් තිස්සේ පිළිම /සුරුවම් උපයෝගී කරගෙන රග දැක්වූ පාස්කු නාට්‍යය සදහා ජීවමාන පුද්ගලයින චරිත නිරූපණය කිරිමට පටන් ගත්තේ මෑතකදීය. මෙහිදී මීගමුව පිටිපන, දූව සහ තවත් බොහෝ ප්‍රදේශවල පාස්කු නාට්‍යය සංදර්ශනයක් ලෙස ඉදිරිපත් කළ අතර දුවේ පාස්කු නාට්‍ය ගරු මර්සලින් ජයකොඩි පියතුමා විසින් නව්‍යමය ආකාරයට රචනා කරමින් ඉදිරිපත් කරන ලද අතර එය කතෝලික ජනතාව අතර පමණක් නොව සමස්ථ ශ්‍රී ලාංකීයයන් අතරම අතිශයින් ජනප්‍රිය පාස්කු නාට්‍යය සංදර්ශනය බවට පත්විය. එසේම පාස්කු නාට්‍ය ශ්‍රී ලංකාවේ නව නාට්‍යකරණයක් සඳහා මාවත සකස් කළ බවද කිව යුතුය.

ඒ සමගම, බොරලැස්ගමුව සහ පයාගල වැනි ප්‍රදේශවල පාස්කු නාට්‍යය ඉතා උසස් මට්ටමකින් ඉදිරිපත් වූ අතර පසු කාලයේදී ශ්‍රී ලංකාවේ බොහෝ කතෝලික ප්‍රදේශවල සහ විවිධ කිතුනු නිකායන්ට අයත් දේවස්ථාන ආශ්‍රිතව පාස්කු නාට්‍යය රංග දැක්වීම වාර්ෂික අංගයක් බවට පත්විය.

ආරංචි රාළට අනුව මෙම පාස්කු නාට්‍ය කලාවේ සුවිශේෂ හැරුවුම් ලක්ෂයක් ලෙස කථිකාචාර්ය විජිත් රොහාන් ප්‍රනාන්දු විසින් රචනා කරන ලද ප්‍රවීණ කලාකරුවකු වන කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක විසින් අධ්‍යක්ෂණය කරන ලද "මනුෂ්‍ය පුත්‍රයා" පාස්කු වේදිකා නාට්‍ය සැලකිය හැක.

මෙම නාට්‍යයේ   විශේෂත්වය වන්නේ එය හුදු භක්ති අභ්‍යාසයකින් ඔබ්බට යමින් ශුද්ධවූ මාක් තුමාගේ සුවිශේෂයේ ජේසුස් වහන්සේගේ මෙලොව දූත මෙහෙවර පිළිබඳව කිසියම් අලුත් සංවාදයක් ගොඩ නැගීම නිසාය.

ආරංචි රාළ හැකි හැම අවස්ථාවකදීම පාස්කු දිනයේ දුවේ හෝ පිටිපන පාස්කු නාට්‍යය නැරඹීම පුරුද්දක් කරගෙන තිබේ. එහෙත් මෙවර ආරංචි රාළට මීගමුව තලාහේන ශුද්ධ බාර්බරා  දේවස්ථානයේ  මීසම් සභාව විසින් ඉදිරිපත් කරන ලද පාස්කු නාට්‍යය නැරඹීමට අවස්ථාව උදාවිය. මෙහි පිළිබඳ පාස්කුවේ රඟපාන නළු නිළියන් කීපදෙනෙක්ම රඟපානු දැකගත හැකි විය. කෙසේ වෙතත්, පාස්කු නාට්‍ය කලාව පිළිබඳව අලුත් බලාපොරොත්තුවක් ඇති කර ගත හැකිවන ආකාරයට මෙම නාට්‍යය නිර්මාණය කිරීම පිළිබඳව ආරංචි රාළට ඇත්තේ අසීමිත සතුටකි.

අවසාන වශයෙන් කිව යුතුවන්නේ තලාහේන මීසම් සභාව ඉදිරිපත් කළ මෙය සාම්ප්‍රදායික පාස්කු කලාවේ නූතන ප්‍රවේශයක් බවය.

 

ආරංචි රාළ - 2025 .04. 20  86 වන දිගහැරුම

 

 


Comments

Popular posts from this blog