පරපුරෙන් පරපුරට ඉදිරියට රැගෙන යන දූවේ පාස්කුවේ වේශ නිරුපන කලාව.
මෙවරත් දූවේ පාස්කු නාට්‍ය මහා සිකුරාදා(18) දහවල් කාලයේ දූව සින්ද්‍රාත්‍රි දේව මෑණියන්ගේ දේවස්ථාන භූමියට ආසනන්යේ ඉදිකරන දැවැන්ත එළිමහන් වේදිකාවක් මත වේදිකාගත කරනු ඇත.
පාස්කු නාට්‍ය ඉතිහාසය ගැන කතා කරන කොට දුවේ පාස්කු නාට්‍යයට ඇත්තේ සුවිශේෂී ස්ථානයකි. මේ පිළිබඳව බොහෝ අවස්ථාවල බොහෝ තැන්වල කතා කර සහ ලියවී ඇති බැවින් ආරංචි රාළ තවදුරටත් ඒ ගැන ලියන්නට යන්නේ නැත. එහෙත් මෙම දුවේ පාස්කුවේ අතිශයින්ම සුවිශේෂී කාර්යභාරයක් ඉටුකල පුද්ගලයකු පිළිබඳව මෙම ශුද්ධවූ සතිය තුළදී යමක් සටහන් කළ යුතු යැයි ආරංචි රාළට සිතුණි.
ඒ මේ දූවේ පාස්කු නාට්‍යයේ වසර ගණනාවක් තිස්සේ ප්‍රධාන වේශ නිරූපණ ශිල්පියා ලෙස කටයුතු කළ කලාශූරී ජෝශප් පෙරේරා මහතා පිළිබඳවය.
තම සහජ හැකියාවෙන් සහ පෞද්ගලික අභ්‍යාස තුළින් වේශ නිරූපණ ශිල්පියකු බවට පත් වූ ජෝශප් මහතා වේශ නිරූපණ ශිල්පයට අමතරව අති දක්ෂ චිත්‍ර ශිල්පියෙක් සහ මූර්ති නිර්මාණ ශිල්පියෙකුද වේ. තම නිර්මාණකරණයේදී ඔහු වැඩි අවධානයක් යොමු කළේ කතෝලික සාහිත්‍යයේ ඔහුට හමුවන චරිත කැන්වසයක් තුළ චිත්‍රයට නගන්නට සහ තමා ජීවත් වූ ධීවර පරිසරයේ එදිනෙදා හමුවන පුද්ගලයින් සහ සිදුවීම් මතුකර පෙන්වන්නටය.
වසර ගනනාවක් පුරාවට ඔහුගේ ප්‍රධාන කාර්යභාරය වූයේ වේශ නිරූපණ ශිල්පයයි. දුවේ පාස්කු නාට්‍යයේ වේෂ නිරූපණ ශිල්පියා වීම එතරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. මක්නිසාදයත් එහි නළු නිළියන් සියයකට අධික සංඛ්‍යාවක් රඟපාන අතර අදට වසර දෙදහකට පමණ පෙර පලස්තීනයේ ජීවත් වූ චරිත බවට දුවේ පාස්කු නාට්‍යයේ රඟපාන නළු නිළියන් පරිවර්තනය කළ යුතුව ඇත. එසේම මෙම නාට්‍ය රඟ දක්වන්නේ ගිනි අව්වේ එළිමහන් වේදිකාවක් මතය.
මේ භාරදූර කාර්යය සඳහා වේශ නිරූපණ ශිල්පයට සම්බන්ධව සිටින ආධුනික ශිල්පීන් බොහෝ දෙනෙක් ජෝශප් පෙරේරා සමඟ අත්වැල් බැඳ ගනිති. එහිදී ජෝසප් පෙරේරා මහතාගේ දරු දැරියන්ද ඔහුගේ සහයෝගයට එක්වීම දුවේ පාස්කු නාට්‍ය වේශ නිරූපණ කලාවේ සුවිශේෂීබව තවදුරටත් ඉදිරියට රැගෙන යාමකි.
වාණිජකරණය වූ සමාජයේ සෑම නිර්මාණයකටම මුල්‍යමය වටිනාකමක් නියම කරන කලාකරුවන් අතරේ
මිනිසුන්ගේ පහන් සංවේගය පිණිස තමාගේ කලාව ගෞරවාන්විත ලෙස භාවිතා කළ ජෝසප් පෙරේරා වැනි කලාකරුවන් සදා අමරණීය වන්නේය.
තමාගේ තුන්වන චිත්‍ර සහ මූර්ති ප්‍රදර්ශනය පැවැත්වූ ජෝසප් පෙරේරා මහතා වසර දෙකකට පමණ පෙර මෙලොවින් සමුගත්තේය. එහෙත් තම පියා විසින් කාලයක් තිස්සේ භාවනාවක් සේ පවත්වාගෙන ආ මේ උතුම් වූ වේශ නිරූපණ ශිල්පිය ඉදිරියට ගෙන යාමට ඔහුගේ වැඩිමහල් දියණිය ශකිලා හේමන්ති පෙරේරා ඉදිරිපත් වී සිටීම ගැන ආරංචි රාළට ඇත්තේ මහත් වූ සතුටකි.
ආරංචි රාළ -
Comments
Post a Comment