යාපනයේ නවාලී දේවස්ථානයට බෝම්බ හෙළීම සහ  පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිදුවන්නේ පැහැදිලි ලෙසම එකිනෙකට වෙනස් සන්දර්භයයන් දෙකක් තුලය.


1948 සිට මේරට පාලනය කළ සිංහල අධිපතිවාදී  ආණ්ඩු (Sinhala dominated governments) වලින් වෙන් වී උතුරු නැගෙනහිර සඳහා වෙනම රාජ්‍යයක් ඉල්ලා සටන් කිරීමට දෙමළ තරුණ තරුණියන්  විශාල උත්තේජනයක් ලබා දුන්නේ උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ සහ කඳුකරයේ දේශපාලන පක්ෂ නායකයින් එක්ව  1976දී යාපනයේ වඩුක්කෝඩෙයි හීදී එළිදැක්වූ "වඩුක්කෝඩෙයි ප්‍රකාශණයයි."  දෙමළ ජාතියක් ලෙස පිළිගැනීම, උතුරු නැගෙනහිර දෙමළ නිජ භූමිය ලෙස ප්‍රකාශයට පත් කිරීම සහ උතුරු නැගෙනහිරට ස්වයං පාලනයක් ලබාදීම මේ ප්‍රකාශයේ අඩංගු ප්‍රධාන කරුණු විය.

1977 මැද භාගයේදී පැවති මහා මැතිවරණයේදී උතුරු නැගෙනහිර ප්‍රදේශයේ මැතිවරණ කොට්ඨාස විශාල සංඛ්‍යාවක්  ජයග්‍රහණය කිරීමට  දෙමළ  එක්සත් විමුක්ති පෙරමුණට හැකි වූයේ ඔවුන්  වඩුක්කෝඩෙයි ප්‍රකාශණය පදනම් කරගෙන තම මැතිවරණ ව්‍යාපාරය ගෙන ගිය නිසායැයි සමහර දේශපාලන විචාරකයෝ තර්ක කළහ. කෙසේ හෝ  ඔවුන් විපක්ෂයේ බහුතරය බවට පත්වූ අතර පාර්ලිමේන්තුවේ විපක්ෂනායක  පදවිය හිමිවූයේ එම පක්ෂයේ නායක ඒ. අමිර්තලිංගම් මහතාටය.

ඉන් අනතුරුව ආණ්ඩුව, වෙනම රාජ්‍යයක් වෙනුවෙන් මේ භූමිය තුළ කටයුතු කිරීම නීති විරෝධී බවට පනතක් ඉදිරිපත් කළ අතර ඒ අනුව සියලුම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳ විශේෂ දිවුරුමක් ලබාදිය යුතු විය. එහෙත්  ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් මෙය ප්‍රතික්ෂේප කළ අතර ඔවුන්ට පාර්ලිමේන්තුවේ නියෝජනය අහිමිවිය. එය වෙනම කතන්දරයකි. ඒත් ඒ වන විට ‍දෙමල සටන්කාමී තරුණයෙන් වෙනම රාජ්‍යයක් වන තමන්ගේ අරගලය ආරම්භ කර තිබුණි.

හමුදාවට විරුද්ධව නැඟී සිටි විවිධ සන්නද්ධ දෙමළ තරුණ කණ්ඩායම් පොලිසියේ සහ හමුදාවේ පුද්ගලයන් ඝාතනය කිරීමටත් ඔවුන් රැඳී සිටි ස්ථානවලට පහර දීමටත් පටන් ගත්හ. එදා පටන් යුද්ධය අවසාන වන තුරු උතුරු නැගෙනහිර පමණක් නොව ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල බෝම්බ පිපිරීම් සහ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වීම සාමාන්‍ය දෙයක් බවට පත්විය. අවාසනාවකට, යුද්ධයක් පවතින රටක මෙවැනි බෝම්බ පිපිරීම් සාමාන්‍ය තත්ත්වයකි.

සටන්කාමී සංවිධානයක් විසින් නිෂ්චිත ස්ථානයක අටවා පුපුරුවා හරින බෝම්බයක් හෝ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමක් පිටුපස නිෂ්චිතවම එය මෙහෙයවන කණ්ඩායමට කුමන අරමුණක් තිබුනත් ඒවායින් මියගිය වැඩිදෙනෙක් අහිංසක සිවිල් ජනතාවයි.

බෝම්බ පිපිරීම්කොටුවේ ටෙලිකොම් ආයතනයේ, පිටකොටුවේ බෝ ගස අසල, කටුනායක ගුවන් තොටුපොළ, මහනුවර දළදා මාලිගාව ඉදිරිපිට, ඔරුගොඩවත්ත තෙල් ටැංකි ඉලක්ක කරගෙන, වේයන්ගොඩ සහ දෙහිවල දුම්රිය මාර්ගයේ හෝ ශ්‍රී ලංකා මහා බැංකුවේ සහ මෙකී නොකී බොහෝ ස්ථානවල එවන් බෝම්බ පිපිරීම් සිදුවිය.

එසේම ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා සහ දෙමළ සටන්කාමී කණ්ඩායම් අතර පැවති යුද්ධයේදී දෙපාර්ශ්වය විසින් එල්ල කරන ලද කාලතුවක්කු වෙඩි ප්‍රහාරවල් නිසා සහ ගුවන් හමුදාවේ ප්‍රහාරක යාත්‍රාව විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාර නිසා සිය දහස් සංඛ්‍යාත අහිංසක ජනතාවක් ජීවිතක්ෂයට පත්විය.

නවාලි බෝම්බ ප්‍රහාරය:  යුද්ධයේ එක්තරා තීරණාත්මක අවස්ථාවකදී ගුවන් හමුදාව විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයක් නිසා යාපනය නවාලි කතෝලික දේවස්ථානය විනාශ වී ගිය අතර එහි රැකවරණය පතා සිටි සිය ගණනක් අහිංසක බැතිමතුන් මියගියහ.

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර :2019 අප්‍රියෙල් 21 පාස්කු ඉරුදින  කිසියම් කණ්ඩායමක් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර නිසා මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන්, කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සහ මඩකලපුව සියෝන් දේවස්ථානවල තම ආගමික කටයුතුවලට සම්බන්ධ වී සිටියදී මියගියේද අහිංසක සිවිල් වැසියෝමය.

මානව හිමිකම් සහ සාධාරණත්වය වෙනුවෙන් අරගල කරන සමහර සිවිල් සමාජ සහ දේශපාලන ක්‍රියාකාරීන් 2019 අප්‍රියල් 21 වෙනි දින සිදු වූ බෝම්බ ප්‍රහාරයන් සහ යාපනයේ නවාලි දේවස්ථානයට එල්ල වූ ගුවන් ප්‍රහාර එකම තලයක තබාගෙන මේ කුමන අවස්ථාවේදී මිය ගියත් ඒ සියල්ලන්ටම එක හා සමානව යුක්තිය සහ සාධාරණත්වය ඉටුවිය යුතු යැයි තර්ක කරති.

කුමන අපරාධකාරී ක්‍රියාවක් නිසා හෝ මිය යන්නේ අහිංසක ජනතාව නම් ඔවුන්ගේ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටීම මනුෂ්‍යත්වය අගයන අප කාගෙත් වගකීමක් බව ආරංචි රාළ තරයේ විශ්වාස කරයි.

මියගියේ සහ තුවාල සිදුවුයේ අහිංසක සිවිල් වැසියන් වූවත්, ඔවුන්ට සාධාරණත්වය ඉටු කිරීම නිත්‍යානුකූල විමර්ශන ක්‍රියාමාර්ගයක් ඔස්සේ සිදුවන්නේ නම් රටක යුද්ධයක් පවතින අවස්ථාවක සිදුවෙන එවන් ප්‍රහාරයක් සහ සාමකාමී වාතාවරණයක් තුළදී සිදුවන ප්‍රහාරයක් අපට එක සමාන ලෙස සැලකිය නොහැක.

යුද්ධයකදී සිදුවන ප්‍රහාරයන් නිසා මිය යන අහිංසකයන්ගේ ජීවිත වලට වගකිවයුතු වන්නේ යුද්ධයට සෘජුව මැදිහත්ව සිටින කණ්ඩායම්ය.

එහෙත් සාමාන්‍ය තත්ත්වයක් පවතින අවස්ථාවක එවන් ප්‍රහාරයකට වගකිවයුතු වන්නේ එම ප්‍රහාරය සිදුකළ කණ්ඩායම පමණක් නොවන අතර නියත වශයෙන්ම  එම ප්‍රහාරය පිටුපස තවත් කණ්ඩායම් සිටිති. ඔවූහු මහා මොළකරුවෝ වෙති.

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ  විමර්ශනය අතිශයින්ම සංකීර්ණ වී ඇත්තේ මෙම ප්‍රහාරය හා සබැඳි මහා  දේශපාලනයක් ඇති නිසාය.

එබැවින් ආරංචිරාළ නැවතත් අවධාරණය කර සිටින්නේ; 1995 ජුලි 09 දින යාපනයේ නවාලී දේවස්ථානයට  බෝම්බ හෙළීම සහ 2019 අප්‍රියෙල් 21 පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිදුවන්නේ පැහැදිලි ලෙසම එකිනෙකට වෙනස් සන්දර්භයයන් දෙකක් තුලදී බවය.

ආරංචි රාළ  2025.04.25 - 89 දිගහැරුම

 








Comments

Popular posts from this blog