සෑම දේශපාලන පක්ෂයක්ම මැයි දිනය නැවත කියවිය යුතුව ඇත.

ලෝකවාසී ජනතාව තවත් මැයි දිනයක් අද දින සමරති. වැඩ කරන ජනතාව අද දින කම්කරු දිනය සමරනවා යැයි මෙම සටහන ආරම්භ කළ යුතු වුණත් ආරංචි රාළට හෘද සාක්ෂියට එකඟව එසේ කළ නොහැකිය. මක්නිසාදයත්, තවදුරටත් කම්කරු දිනය කම්කරුවන්ගේ හෝ ඔවුන් විසින්  සමරනු ලබන  දිනයක් නොවන නිසාය.

අතීතයේ  කම්කරු දිනය සැමරීමේදී පුරෝගාමීත්වය ගෙන  කටයුතු කළේ මේ රටේ ප්‍රධාන වෘත්තීය සමිති සහ වැඩකරන ජනතාව නියෝජනය කළ  නායකයින් විසිනි. වාමවාදී මතවාද පෙරටුකරගත් ඔවුහු  එම කාර්ය හරියටම කලහ. අනතුරුව දේශපාලන පක්ෂ වලට සම්බන්ධ වෘත්තීය සමිති මැයි දිනයට නායකත්වය දෙන ලදි. එහෙත් කාලයාගේ ඇවෑමෙන් කම්කරු ජනතාවගේ එකමුතුවන්වූ වෘත්තීය සමිති වලට අයත්ව තිබූ මැයි දිනය දේශපාලන පක්ෂ එය තමන්ගේ  දේශපාලන රැලියක් බවට පත් කර ගත්හ. ආණ්ඩු බලය දරන දේශපාලන පක්ෂය සහ  විපක්ෂ දේශපාලන පක්ෂ  හැමවිටම  මැයි දිනය තමන්ගේ දේශපාලන ශක්තිය පෙන්වීම සඳහා යොදාගනු ගන්නට  විය.

1977 බලයට පත් වූ ජේ.ආර්. ජයවර්ධනගේ යූඑන්පී ආණ්ඩුව මැයි දිනය හුදු සැණකෙළියක් බවට පත්කර ගත්තේය. ඇත්තටම ජනතාවට එය ලොකු  වින්දනයක්ද ගෙන දුන් දෙයක් විය. ගාලුමුවදොර පිටියේ පැවති එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය අවසාන වූයේ ඉන්දියාවෙන් ගෙන්වනු ලැබූ ගායක ගායිකාවන්ගේ මහා සංගීත ප්‍රසංගයක් සමඟය. එහෙත් 1980 පැවති දීපව්‍යාප්ත මහා වැඩ වර්ජනය  නින්දිත ලෙස මර්දනය කර දහස් සංඛ්‍යාත රජයේ සේවක පිරිසක් තම රැකියා ස්ථානවලින් පන්නා දැමිම නිසා සහ එක්සත් ජාතික පක්ෂ  ආණ්ඩුවේ මර්දනය නිසා රට තුළ නිර්මාණය වූ අසහනකාරී තත්ත්වය නිසා ජේ.ආර්.ට  ජෝගී නටන්නට අවස්ථාව ලැබුණේ නැත.

කෙසේ වෙතත්, ජනතා විමුක්ති පෙරමුණේ යලි පිබිදීම සමග ඔවූහු මැයි දිනයට නව හැඩයක් දෙන ලදි. මෙතෙක් මේ රටේ පැවැත්වූ විනයානුකූල සහ නිර්මාණාත්මක මැයි දිනය පවත්වන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ  බව කිවහොත් එය අතිශෝක්තියක් නොවේ.

කෙසේ වෙතත් සියලුම දේශපාලන පක්ෂ මැයි දිනය සඳහා විශාල අවධානයක් යොමු කරන අතර අනිත් සෑම පක්ෂයකටම වඩා තමන්ගේ සාමාජිකයන්ගෙන් සහ ආධාරකරුවන්ගෙන් කොළඹ පුරවන්නට ඔවුහු උත්සාහ කරති.

මැයි දිනයේ විචිත්‍රවත්ම අංගය වන්නේ මැයි පෙළපාලියයි. එහෙත් බොහෝ දේශපාලන  පක්ෂ තම මැයි දින පෙළපාළියේදි තම ප්‍රතිවාදීන්ව අපහසයට ලක් කිරීම සඳහා විවිධ අංග පාවිච්චි කිරීම කණගාටුවට කරුණකි.

ආරංචි රාළට මතක ඉතිහාසය තුළ ජාතික ජන බලවේගය විප්ලවීය වෙනසක් 2024 මැයි දිනයේදී කළහ. ඒ ජාතික ජන බලවේගය ලෙස සංවිධානය කළ ප්‍රථම මැයි දිනය වූ අතර එදින ඔවුන් එකම අවස්ථාවේ මාතර, අනුරාධපුරය යාපනය සහ කොළඹ කේන්ද්‍ර කරගෙන අති දැවැන්ත මැයි  දින පෙලපාලි තුනක් සහ  රැළි හතරක් පැවැත්වූයේය. ඒ තුළින් ඔහු මේ රටේ පාලකයින්ට සහ ජනතාවට මේ රටේ බහුතර ජනතාව තමන් සමග සිටින බවට පැහැදිලි පණිවිඩයක් ලබා දුන්නේය. කොළඹ පැවති මැයි දින රැළියේදී ජනතාව ඇමතු වත්මන් ජනපති අනුර කුමාර දිසානායක  පැවසුවේ 2025 මැයි දිනය අනිවාර්යයෙන්ම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ පවත්වන බවය. අද එය සිදුවනු ඇත.

තේ වතු ආශ්‍රිතව ගොඩනැගී ඇති වෘත්තීය සමිති බොහොමයක බලය හිමි කරගෙන සිටි තොණ්ඩමන් මහතාගේ ලංකා කම්කරු කොංග්‍රසය  සහ කදුකරයේ විකල්ප දේශපාලන පක්ෂ  වාර්ෂිකව කඳුකරයේ දෙමළ ජනතාව ඒකරාශී කරගෙන අති දැවැන්ත මැයි දින රැළි නුවරඑළිය දිස්ත්‍රික්කයේ දී පවත්වෙමින් තිබුණි. ඒත් මේ වන විට කඳුකරයේ තම අණසක පතුරාවා ගෙන සිටි කිසිදු දේශපාලන පක්ෂයකට  එවැනි රැලි සංවිධානය කිරීමේ හැකියාවක් නැති බව පෙනේ. කඳුකරයේ ජනතාව පමණක් නොව උතුරු නැගෙනහිර බහුතර ජනතාවක් මෙවර ජාතික ජන බලවේගය සමඟ අත්වැල් බැඳගෙන සිටින බැවින් 2025 මැයි දිනය ඔවුන් සමරන්නේ ජාතික ජන බලවේගය සමඟය.

මේ කොයි හැටි වෙතත් තවමත් පැරණි වෘත්තීය සමිති සහ නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සමිති සහ රාජ්‍ය නොවන සංවිධාන කීපයක්ම කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවී ස්වාධීනව කම්කරු අයිතිවාසිකම් වලට හඬක් දෙමින් කොළඹ කේන්ද්‍ර කරගෙන මැයි දින රැලි සහ පෙළපාලි පැවැත්වීම ආරංචි රාළ ඉහලින්ම අගය කරයි.

රටේ පවතින ආණ්ඩුව පමණක් නොව අනෙක් සෑම දේශපාලන පක්ෂයක්ම මැයි දිනය නැවත කියවිය යුතුව ඇත. මැයි දිනයේ සැබෑ අයිතිකරුවන් වන වැඩ කරන කම්කරු ජනතාවට එහි සැබෑ අයිතිය ලබාදෙමින් ශ්‍රී ලංකාවේ සමස්ථ වැඩ කරන ජනතාව තම  දේශපාලන හෝ වෙනත් මතවාදයක් පසෙකලා එක්සත් මැයි දිනයක් පවත්වන්නේ කවදාදැයි ආරංචි රාල සිහින දකිමින් සිටියි

ආරංචි රාළ; 2025.05.01 - 94 වන වන දිගහැරුම

 

 

Comments

Popular posts from this blog