තවත් මහාත්මා පුරුෂයකු අප හැර ගොස් ඇත.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ  සාමය, දයානුකම්පාව සහ මනුෂ්‍යත්වය සඳහා උන්වහන්සේගේ නොසැලෙන කැපවීම ලෝකය මත නොමැකෙන සලකුණක් තබා ඇත. උන්වහන්සේගේ දයානුකම්පාව, යුක්තිය සහ අන්තර් ආගමික සහජීවනය පිළිබඳ උරුමය ඉදිරි පරම්පරාවන්ට ආස්වාදයක් ලබා දෙනු ඇත.

අනුර කුමාර දිසානායක, ජනපති, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය.

" පාප් දිවිය තුළදී කතෝලික  සභාවේ සම්ප්‍රදායික සිතුම්පැතුම් සහ එතුමාගේ නිදහස් මතවාදයන් ගලපා ගැනීම කෙතරම් අසීරු වූවාදැයි සිතාගත නොහැක."

රිද්ම ෆොන්සේකා, විධායක අධ්‍යක්ෂ,  පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය

ප්‍රැන්සිස් පාප් වහන්සේ තුන්වන ලෝකයෙන් පත් වූ කෙනෙක්.ඒ නිසා දුප්පතුන්ගේ යථාර්ථයට ඉතාමත් සංවේදී කෙනෙක්. සංවර්ධනය ගැන බලවතුන් යෝජනා කරන Trickle Down Theory පිළි ගත්තේ නැහැ. මනූෂ්‍යත්වය සහ පරිසරයට සිදුවන හානිය  ගැන ඉතාමත් ඉදිරිගාමී දැක්මක් තිබුනා. උන් වහන්සේ කළ එක් බරපතල ප්‍රකාශයක් වූයේ ආර්ථිකය ලාභයට නොව මනුෂ්‍යයට සේවය කල යුතුය.

ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා, ජනාවබෝධය සමාජ ව්‍යාපාරයේ නිර්මාතෘ

කිසිවෙකු අත්‍යවශ්‍ය හෝ අතිශයින්ම වැදගත් නොවේ. එහෙත් ෆ්‍රැන්සිස් පාප්තුමාගේ  පදවියේ භූමිකාව ප්‍රතිස්ථාපනය කළ නොහැක. අසීසියේ ප්‍රැන්සිස් තුමාගේ නවතම ජීවමාන ප්‍රතිරූපය වන ෆ්‍රැන්සිස් පාප්තුමාට එහා ගිය දැක්මක් ඇති නව එඬේරෙකු සඳහා අපි බලාපොරොත්තු වෙමු, යාච්ඤා කරමු.

විජිත් රොහාන් ප්‍රනාන්දු,ජේෂ්ඨ කතිකාචාර්ය,  ක්‍රිස්තියානි සම්භාව්‍ය සංස්කෘතික අංශය, කැළණිය විශ්වවිද්‍යාලය.

තවත් මහාත්මා පුරුෂයකු අප හැර ගොස් ඇත. අපිරිමිත ධෛර්යය, මටසිලිටි තීක්ෂණ බුද්ධිය සහ ඍජු ප්‍රතිසංස්කරණ පිළිබඳ  වතිකාන II කතිකාවේ සැබෑම මිනිසෙකි ඔහු. වතිකාන තාන්ත්‍රණික කුටුම්බයම පවිත්‍ර කිරීමට දැරු වෙහෙස ඓතිහාසික යැ.  තම සසුනේ සැටස් වියැති වතිකාන II කතිකාව නැවත ප්‍රතිෂ්ඨාපනය කරමින්  සම්ප්‍රයාණය (synodality)  ගුරු කුලයක් ලෙස සසුන්ගත කරමින් පෑ පෙළහැර අභීත යැ. ෆැන්සිස් සසුනිසුරාණෝ තම සසුනේ  එකී වෙනසක් පතා ලියු පත්තිරු, කිවු කතා, අව්‍යාජ සොදුරු සිනහව සහ හැදු ගැහැනුන්-මිනිසුන් වේවා එම සසුනේ වෙනසක අරුමය! සුභ ගමන්, සසුනේ ඓතිහාසිකයාණෙනී!!

ශාන්තිකුමාර් හෙට්ටිආරච්චි, දර්ශනය සහ ආගම  පිළිබඳ  අධ්‍යයන අංශය,මින්හාජ් සරසවිය ලාහෝර්,පකිස්ථානය.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අපගේ එඬේරාණන්වූ ස්වාමීන් වහන්සේගේ රැඩිකල් ජීවිතයට සාක්ෂි දැරූ සරල බව සහ ඇදහිල්ල ඇති මිනිසෙකි. 
ඔහු අනුගමනය කළ දේ ගැන ඒත්තු ගැන්වූ අතර සිනොඩල් පල්ලියක සැබෑ වටිනාකම් ඔවුන්ට මතක් කර දෙමින් ඇදහිලිවන්තයන් සමඟ එක්ව ගමන් කළේය.

ගරු ක්‍රිශාන්ති පැවිදි සොයුරිය, යහපත් එඩේරාගේ කන්‍යාරාමය, නායකයන්ද

මා දුටු මගේ කාලයේ ආදරණීය හදවතක් හිමි, සියලු දෙනාගේ ආදරය දිනා ගත්, දයාව, කරුණාව හා සාධාරණත්වය උගත් දේවධර්මයට පමණක් සීමා නොකළ මනුෂ්‍යත්වයෙන් පිරි එඩේරෙක්; අසාධාරණයෙන් පීඩිත වූවන් වෙනුවෙන් දිවැසිවර හඩක් නැගූවෙක්..

සදුනි සමරසිංහ, කතිකාචාර්ය, ඇක්වයිනාස් උසස් අධ්‍යාපන ආයතනය, කොළඹ 8

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ: සංස්කෘතීන් අතර පාලමකි. කතෝලික පල්ලියට ප්‍රබෝධමත් වෙනසක් ගෙන ආ නිහතමානී සහ දයානුකම්පිත නායකයෙකු ලෙස ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කැපී පෙනෙනවා.  ඔහු කතෝලික සභාවේ සීමා මායිම්වලින්  ඔබ්බට ගොස්, අනෙකුත් ආගම් සහ සංස්කෘතීන් කෙරෙහි ගැඹුරු ගෞරවයක් පෙන්නුම් කළා. අන්තර් කණ්ඩායම් සංවාද අගය කළ උන්වහන්සේ,  ආගමික මූලධර්මවල සීමා කිරීමවලින් යුක්ත අන්තර් ආගමික සංවාදයට අමතර ව, බෙදී ගිය ලෝකයක සාමය සහ අවබෝධය සඳහා මාර්ගයක් ලෙස අන්තර් සංස්කෘතික සංවාදය  බෙහෙවින් අගය කළා.

ආචාර්ය ඇලෙක්ස් පෙරේරා, නව අධ්‍යාපන ක්‍රමවේද පර්යේෂක සහ නිර්මාණශීලි ග්‍රන්ථ රචක

ආරංචි රාළ - 2025 .04. 23  87 වන දිගහැරුම

 

 


 

Comments

Popular posts from this blog