කොදෙව් මානසිකත්වයෙන් මිදී ගෝලීය මිනිසුන් ලෙස සිතන්නට පටන් නොගන්නේ නම් අප සදාකාලික ලිං මැඩියෝම වනු ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද මෝදී මහතා ශ්‍රී ලංකාවට පැමිණියේය. දෙරටේ විදේශ අමාත්‍යංශ විසින් එකාබද්ධව සකස් කරන ලද න්‍යාය පත්‍රයට අනුව සියල්ල සිදුවිය.සාර්ථක සංචාරයක් අවසන් කළ  මෝදී මහතා නියමිත දින, නියමිත වෙලාවට  ශ්‍රීලංකාවෙන් පිටව ගියේය.මේ සියල්ල පිලිබදව ආරංචි රාළ සතුටට පත්ව සිටියි.

මෝදී අගමැතිතුමා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ කවුරුත් නොදන්නා හොර ගිවිසුම් අත්සන් කරන්නැයි ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද,එහෙත් කෙසේ හෝ තම පක්ෂයට මහා මැතිවරණයේදී ලැබූ කොටා මන්ත්‍රී කමෙන් විපක්ෂයේ  වාඩිවී සිටින දේශපාලන ළදරුවෝ කෑ ගැසුවාට ජනතාව ඒවා සත පහකට මායිම් කලේ නැත.

කුහකත්වයම  තම දේශපාලනය කරගෙන සිටින එහෙත්  තමන් ඊනියා පෙරටුගාමින් යයි කියා ගන්නා අතලොස්සක්වූ පිරිසක් පාර දෙපසට වී මෝදී අගමැතිවරයා හූ කීමෙන් තමන් තවමත් කැලේ ජිවත්වන පසුගාමී කණ්ඩායමක් බව මුළු ලෝකයටම හඩගා කීවෝය.

ජනතා විමුක්ති පෙරමුණ බිහිවන්නේ 1964 කාලයේදීය. ඒ වසර 60 කට වැඩි කාලයකට පෙරය. මේ කාලය තුළදී අවස්ථා කීපයකදීම එහි සාමාජිකයන් තනි පුද්ගලයන් සහ කණ්ඩායම් ලෙස පක්ෂය හැර ගියේ ජනතා විමුක්ති පෙරමුණ කාලයේ අවශ්‍යතාවයට අනුව වෙනස්වීම පිළිගත නොහැකිවූ නිසා බව ආරංචි රාළ විස්වාස කරයි.

අනුර කුමාර දිසානායක ප්‍රමුඛ කණ්ඩායම ජනතා විමුක්ති පෙරමුණ වටා රටේ විවිධ කොටස් ඒකරාශී කරගනිමින් 2018 දී ජාතික ජන බලවේගය ලෙස දේශපාලන පක්ෂයක් අභිබවා ගිය මහජන ව්‍යාපාරය ගොඩ නගා ගත්තේ නොමැතිනම්  ජනතා විමුක්ති පෙරමුණ තවමත් සියයට තුනේමය.

මෙය කවුරුත්, විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණේ සහෝදර සහෝදරයින්ද තේරුම් ගත යුතුය.

එසේම පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී සිදුවුයේ මෙරටේ පිඩිත පන්තිය නැතිනම් නිර්ධන පන්තිය බලය අත්පත් 8ර ගැනීමක් නොවේ.එය සැබවින්ම මේ රට වඩා යහපත් දේශයක් සහ ලස්සන රටක් වෙනවා දකින්නට සිහින මැවූ වසර 76 කර අධික කාලයක් මුලාවී සිටි බහුතර ජනතාවගේ සිහින  සැබෑ කර ගත හැකි පාලන තන්ත්‍රයක් බිහිකර ගැනීමකි.

එම සිහින වෙත ලගාවීමට ප්‍රථමයෙන් අප කොදෙව් මානසිකත්වයෙන් මිදිය යුතුව ඇත.එහේදී ලෝකය සමග අප අත්වැල් බැදගෙන කටයුතු කලයුතු අතර නියත වශයෙන්ම  අප මුලින්ම අත්වැල් බැදගත යුත්තේ අපගේ අසල්වැසි ඉන්දියාව සමගය. ජාතික ජන බලවේගය ආණ්ඩුව මේ යතාර්ථය ඉතා හොදින් වටහා ගෙන සිටියි. ඉන්දියාව අපේ හතුරෙක් කරගෙන ඉල්ලගෙන පරිප්පු කෑ යුගය ආරංචි රාළට හොදට මතකය.

ඉන්දීය අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය මුල්කරගෙන බිල්ලෝ මවන්නට හදන පරාජිත එසේම පසුගාමී දේශපාලන කණ්ඩායම් වලට ආරංචි රාළට කියන්න ඇත්තේ එකදෙයක් පමණි. කොදෙව් මානසිකත්වයෙන් මිදී ගෝලීය මිනිසුන් ලෙස සිතන්නට පටන් නොගන්නේ නම් අප සදාකාලික ලිං මැඩියෝම වනු ඇත.

 

ආරංචි රාළ    - 2025 .04. 08-  80 වන දිගහැරුම

 

 


  

Comments

Popular posts from this blog