තම මුලු  කාලයම මේ රටේ  පීඩාවට පත්වූ මිනිසුන්ගේ ජීවිත යහපත් කරන්න  කැප කළ අපූරු මිනිසුන් තිදෙනෙක් සහ ගැහැනියක්!

ඔවුන් මේ ගත කරන්නේ  තමන්ගේ ජීවිතයේ සැදෑ සමයයි. නිවිසැනසිල්ලේ ගතකළ හැකි සැදැසමයද  ජනතාව වෙනුවෙන්ම කැපකර ජනතාවට වඩා යහපත් ජිවිතයක්  ලබා දීමට සූදානමින් ඔවුහු දැන් ජනෝදානය තුළ ක්‍රියාශීලීව සැබෑ වෙනසක් වෙනුවෙන් කටයුතු කරමින් සිටිති.

ජනෝදානය සංවිධානයක්  හෝ ආයතනයක් නොවේ. එය විවිධ සංවිධාන, ආයතන සහ ව්‍යාපාරවල ක්‍රියාකාරී ලෙස සමාජ සහ දේශපාලන කටයුතුවල නිරතව සිටින සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට සැබෑ වෙනසක් සඳහා වන දේශපාලන ක්‍රියාදාමයකට සම්බන්ධ වීමට නිර්මාණය කරන ලද අවකාශයක් වන අතර කාලයක් තිස්සේ ජනෝදානය ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී කොටස්කරුවෙකු ලෙස කටයුතු කරයි.

වසර ගණනාවක් තිස්සේ විවිධ සමාජ සංවිධාන සහ ව්‍යාපාරවල පූර්ණ කාලීනව කටයුතු කරමින් සිටින ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා (ජනාවබෝධ කේන්ද්‍රයේ නිර්මාතෘ වරයාය.) ෂෙල්ටන් පීරිස් මහතා (සෙත්තප්පාඩුව තරුණ ක්‍රිස්තියානි සංගමය පුරෝගාමී සාමාජිකයාය.) ගරු නොයෙල් ක්‍රිස්ට්‍රින් පැවිදි සොයුරිය (ශ්‍රමාභිමානි කේන්ද්‍රය, විධායක අධ්‍යක්ෂකවරියයි.) සහ රෙක්සි වසන්ත ප්‍රනාන්දු ( ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය - දිගු කාලින සාමාජිකයෙකි. ) මේ සමාජය වෙනුවෙන් කැපවී සිටීම සැමටම ආදර්ශයක් බව ආරංචි රාළගේ විශ්වාසයයි.

ජාතික ජන බලවේග ආණ්ඩුව ගොඩනැගීම සඳහා සුවිශාල දායකත්වයක් ලබා දුන් ඔවුන් අද ජනතාව ලද ජයග්‍රහණය දකිමින්  තමන්ගේ ජීවිතයේ සැඳෑ සමයේ කිසියම් සැනසුම් සුසුමක් හෙළමින් සිටිති. එහෙත් ඔවුන් කිසිවෙකු තවමත් තම ජීවිතය ඉදිරියේ තබාගෙන ඇති පොදු සමාජ අරමුණ අත්හැර නැත.

"පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" නිර්මාණය කිරීමේ ව්‍යූහය සකස් කිරීමට දායකවූවා සේම එම ක්‍රියාවලිය නිවැරදි ලෙස ඉදිරියට ගෙන යන්නේදැයි   ඔවුන් විමසිල්ලෙන් යුතුව බලා සිටිති. අන් අයගේ ජිවිත සුඛිත මුඛිත කිරීම වෙනුවෙන් කැපවීම තරම් උතුම් කාර්යක් මෙලොව තුළ තවත් නැත. ඔවුන් ඒ උතුම් මිනිසුන්ය.

අනිත් අය වෙනුවෙන්ම තම ජීවිතය කැප කළ තවදුරටත් එසේ කිරීමට ම සූදානමින් සිටින මේ ජේෂ්ඨ පුරවැසියන්ට ආරංචි රාළගේ උත්තමාචාරය!

 

ආරංචි රාළ  - 2025 .04. 16 -  84 වන දිගහැරුම

 

ඡායාරූප; දිනූෂ නානායක්කාර 


Comments

Popular posts from this blog