"කාච්ච්තිව් දුපත අපිට ඕනේ"; තමිල්නාඩු මහා ඇමතිගෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩ නැගෙන යහපත් සබඳතාවයට උදෑල්ලක්!
තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩු බොහෝ අවස්ථාවලදී ශ්‍රී ලංකාවේ කකුලෙන් අදින තත්ත්වයන් අපි අත්දැක ඇත්තෙමු. දැනට වසර ගණනාවකට පෙර බලකාමී දෙමළ දේශපාලකයෝ තමිල්නාඩු ප්‍රාන්තය ඉන්දියාවෙන් වෙන්කර වෙනම රාජ්‍යයක් පිහිටුවීමට ලොකු උත්සාහයක් දැරීය. ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව සඳහා වෙනම රාජ්‍යයක් බිහිකිරීමේ සිහිනය සමහර දෙමළ අන්තවාදී නායකයින් තුළ ඇති වන්නේ තමිල්නාඩුවේ මේ උත්සාහයම නිසා විය හැකි යැයි වෙලාවකට ආරංචි රාළට හිතේ.
කෙසේ වෙතත් යම් දෙමළ සටන්කාමීන් කණ්ඩායම් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් කරන ලද අරගලය අවතක්සේරු කිරීමට ආරංචි රාළ උත්සාහ කරන්නේ නැත. තත්ත්වය කොයි ලෙස පැවතියත්, 1977 දක්වාම ඉන්දියාව ශ්‍රී ලංකාවේ ඉතාමත් හොඳ අසල්වැසියාව සිටියාය. මෙම සුහදතාවය ඉතා ශක්තිමත් ලෙස පවත්වාගෙන යාමට සිරිමාවෝ බණ්ඩාරනායක සහ ඉන්දිරා ගාන්ධි වැනි නායිකාවන් විසින් දක්වන ලද දායකත්වය අතිශයින්ම වැදගත් විය.
එහෙත් 1977 බිහිවන ජේ ආර් ජයවර්ධනගේ යූඑන්පී ආණ්ඩුව ඇමරිකාව වෙත දක්වන ලද වැඩි නැඹුරුව නිසාම අපේ අසල්වැසියා වුණත් ඉන්දියාව අපේ හොඳ අසල්වැසියා වූයේ නැත. වෙනම රාජ්‍යයක් සඳහා කරන ලද අරගලය වෙනුවෙන් විවිධ දෙමළ සටන්කාමී කණ්ඩායම් පුහුණු කරන කඳවුරු තමිල්නාඩු ප්‍රදේශයේ බිහිවන්නේ ඒ නිසාය.
එහෙත් එල්ටීටීඊ සංවිධානය විසින් යුදමය වශයෙන් අත්පත් කර ගනු ලැබූ අතිවිශාල ජයග්‍රහණයන් නිසා සහ විශාල ඉඩම් ප්‍රමාණයක් උතුරු නැගෙනහිර තමන් සතු කර ගැනීමට හැකිවීම නිසාත් ලංකාවේ නියත වශයෙන්ම වෙනම දෙමළ රාජ්‍යයක් බිහිවීම පිළිබඳව ඉන්දියාව දෙවරක් සිතන්නට පටන් ගත්තාය. සම්පූර්ණයෙන්ම වෙනම රාජ්‍යයක් දෙමළ ජනතාව වෙනුවෙන් නිර්මාණය කරනවාට වඩා නිශ්චිත බලය බෙදීමක් ඔස්සේ ෆෙඩරල් රාජ්‍යයක් ශ්‍රී ලංකාවේ බිහිකිරීමට ඉන්දියාව සෘජුවම මැදිහත් වන්නේ මේ නිසාය.
1987 ජූලි මාසයේ අත්සන් කරනු ලබන ඉන්දු ලංකා ගිවිසුම එහි තීරණාත්මක අවස්ථාවයි. එහෙත් ඉන් අනතුරුව, එල්ටීටීඊ සංවිධානය විසින් රජීව් ගාන්ධි ඝාතනය කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ අරගලයට ඉන්දියාවේ මධ්‍යම රජයේ කිසිදු සහයෝගයක් නොලැබුණු අතර තමිල්නාඩු ප්‍රාන්තයේ සහයෝගය ද ක්‍රමක් ක්‍රමයෙන් අඩුවන්නට විය.
එක්තරා කාල වකවානුවකදී ඉන්දීය මධ්‍යම රජයට තමිල්නාඩුව සැබැවින්ම හිසරදයක්ව පැවතිණි. එහෙත් ගාන්ධි පවුලෙන් ඉන්දියාවේ බලය වෙනත් කණ්ඩායම්වලට මාරුවීමත් සමගම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වූ අතර පසුකාලයේදී නැවතත් ඉන්දියාව ශ්‍රී ලංකාවේ හොඳ අසල්වැසියා බවට පත්වන්නට විය.
එහෙත් අවාසනාවකට තමිල්නාඩුවේ බලය හිමිකර ගන්නා කණ්ඩායම් බොහෝ අවස්ථාවලදී ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාව අතර විරසකයක් ඇති කිරීමට උත්සාහ කළ බව කිව යුතුය.
තමිල්නාඩු ධීවරයන් ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවන් උල්ලංඝනය කරමින් ධීවර වෘත්තීය යෙදීම දිගින් දිගටම ශ්‍රී ලංකාවටද හිසරදයක් ව පවතී.
ඔවූහු නැවතත් ලංකාවට හිසරදයක් වන්නට පටන් ගෙන ඇත්තේ තමිල්නාඩුවේ ප්‍රාන්ත රජය විසින් දැනට ශ්‍රී ලංකාවට අයත්ව ඇති මන්නාරමට වයඹින් පිහිටා ඇති කච්චතිව් දූපත ඉන්දියාවට අයත් විය යුතු යැයි යෝජනාවක් ඒකමතිකව සම්බන්ධ කිරීමත් සමඟය.
එය බොහෝවිට ඉන්දියානු මධ්‍යම ආණ්ඩුවේ හෝ තමිල්නාඩු සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතාවයක් නොවේ. තමිල්නාඩුවේ අන්තවාදී දේශපාලකයින් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් කරන ලද යෝජනාවක් බව ආරංචි රාළ පවසයි.
මෙම උදාවී ඇති තත්ත්වය පිළිබඳව ඉන්දීය මධ්‍යම රජය කුමනාකාරයේ ප්‍රතිචාරයක් දක්වන්නේ දැයි ආරංචි රාළට අදහසක් නැතත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ සංචාරය කරන මේ මොහොතේ එම යෝජනාව ශ්‍රී ලංකා රජයේ විදේශ ප්‍රතිපත්තිය සහ විදේශ සබඳතා පවත්වාගෙන යාම සහ එවා කළමනාකරණය පිළිබඳව ආණ්ඩුවේ හැකියාව පරීක්ෂණයට ලක් කිරීමක් වන බව ආරංචි රාළගේ අදහසයි!
ආරංචි රාළ -
Comments
Post a Comment