වන අලින්ට නිදා ගන්නවත් නිදහස නොදෙන ඊනියා පරිසරවේදී/ වනජීවී යූටියුබ් කාරයෝය.
අද ආරංචි රාළට නහුතෙටම නැගලාය. මේ සටහන ලියනකොට හසුරුවන වචන වල කිසියම් නුහුරු බවක් කියවන ඔබට දැනුනොත් ආරංචි රාළට සමාවන්න.
අද පෞද්ගලික නාලිකාවන් කීපයක්ම නිකුත් කර තිබූ යූටියුබ් එකක ඉතාමත් කුජීත වසල වීඩියෝවක් තිබුණි.
වන අලින් හත් අට දෙනෙක් පමණ මහවැලි ගඟෙන් ස්නානය කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ භූමිය තුළ සුවසේ ඉවුරට වෙලා නිදාගෙන හිටියා. මෙවැනි අලින් සුවසේ නිදා සිටිනවා නිතර වන වදින පරිසරවේදීන් පවා දකින්නේ ඉතාමත්ම කලාතුරකිනි.
වනජීවී ඡායාරූපකරණය හෝ වීඩියෝ කරණය පිළිබඳව කිසිදු ආචාර ධර්මයක් නොදන්නා ශිල්පියෙකු විසින් අහිංසක අලින් නිදාගෙන සිටින ප්‍රදේශය අසලටම drona( ඩෝන )යානයක් යවා ඒ සුවසේ නිදා සිටි අලින් තිගැස්සීමකට ලක් කර නින්දෙන් ඇහැරවා ඔවුන්ගේ චර්යා රටාවන්ට දැඩි ලෙස බාධා වන පරිදි රූ ගත කිරීම් කර දුලබ ගණයේ වීඩියෝවක් මාධ්‍යයට මුදාහැර යයි සිතමින් තම පටු අරමුණු ඉටු කරගෙන තිබුණා.
වන අලින්ට ගම් වදිනවා, මිනිසුන්ගේ දේපළ නැති කරනවා, මිනිසුන්ව මරා දමනවා කියමින් අපි බොහෝ දොස් නගන්නෙමු. හැබැයි මිනිස්සු වෙන අපි උන්ට උන්ගේ බිමේ නිදහසේ නිදා ගන්නටවත් දෙන්නේ නැත.
මෙම වීඩියෝ ගත කිරීම කර තිබුණේ වස්ගමුව ජාතික වනෝද්‍යානයට ආසන්න මහියංගණ නිපොන් පාලම ආසන්නයේදී. මෙම වීඩියෝව රූගත කිරීම අත්‍යවශ්‍ය කරුණක් නම් ඔවුන්ට එය අලින්ට බාධාවක් නොවන පරිදි ඉතා ඉහළ අහසේ සිට සිදු කරන්න තිබුණා.
ඔවුන්ට ඉතාමත් වැරදි පූර්වාදර්ශයක් ලොවට දෙමින් තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් වන අලින්ට හිරිහැර කරමින් සකස් කර තිබූ මෙම වීඩියෝව රූපවාහිනී නාලිකා කීපයක් ඔස්සේම විකාශනය කර තිබුණා.
තමන්ගේ නරඹන්නන් ප්‍රමාණය වැඩිකර ගනිමින් අධික ලාභ ලැබීම විනා එතනින් එහාට කිසිම සමාජ අරමුණක් මේ පෞද්ගලික රූපවාහිනී නාලිකා වලට ඇතැයි ආරංචි රාළ විශ්වාස කරන්නේ නැත. මහත් වූ කණගාටුවට කරුණ නම් මෙම නාලිකාවන්ම තමන්ගේ මැදිරි තුළට පරිසරවේදීන් කැඳවා පරිසරය සහ වන සතුන් සුරැකීම පිළිබඳව සාකච්ඡා මෙහෙයවීමයි.
සතුන්ගේ චර්යා රටාවන්ට බාධා කරමින්,ඔවුන්ට හිරිහැර පීඩා කරමින්,රූ ගත කරන තැනැත්තෙක් වේද ඔහු හෝ ඇය කිසි විටෙකත් සැබෑ වන ජීවී ඡායාරූප ශිල්පියෙකු නොව බවත්, බුදුරජාණන් වහන්සේට අනුව නම් ඔවුන් වසලයෝ බව ආරංචි රාළ සඳහන් කරන්නේ සතුන්ගේ නිදහසට බාධා කරනවා දකින විට ආරංචි රාළට නහුතෙටම තරහ යන නිසාම නොවෙයි.
ආරංචි රාළ -
( තොරතුරු; පරිසරවේදී සහ වනජීවී කැමරා ශිල්පි දිනූෂ නානායක්කාර ගෙනි)
Comments
Post a Comment