බංකොලොත්වූ රටක් සංවර්ධනය කරා ගෙන යන අයවැයක ජනතා අපේක්ෂාව?

1970 - 75 :මුදල් ඇමතිවආචාර්ය එන්.ඇම්. පෙරේරා 

රටක වාර්ෂික අයවැයක් යනු එරටේ වාර්ෂික ආදායම සහ වියදම ඇස්තමේන්තු කරන මූල්‍ය සැලැස්මකි. එය රටක ඉලක්ක වාර්ෂික වියදම් ආදායම් බවට පරිවර්තනය කරන ප්‍රධාන ලේඛනයකි.

සංවර්ධනය වූ රටවල් තමන්ගේ ආර්ථික හා සමාජ සංවර්ධන සැලසුම් සකස් කරන්නේ   දිගු කාලයක් සඳහාය. විටක එය අවුරුදු පහක්, දහයක් ඊට වැඩි කාලයක් සදහා හැක.  කෙසේවෙතත් රට පවත්වාගෙන යාම සදහා වාර්ෂික ආදායම් සහ වියදම් ඇස්තමේන්තු කර එය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම කළ යුතුව ඇත. මෙහිදී පවතින ආණ්ඩුවේ රට සඳහා වන දැක්ම අතිශයින්ම වැදගත්වේ.

ජාතික ජන බලවේගය ආණ්ඩුවේ ප්‍රථම අයවැය අද (පෙබරවාරි 17) ඉදිරිපත් කරයි. මුදල් අමාත්‍යවරයාද වන ජනපති අනුර කුමාර දිසානායක එය  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. මෙහිදී ජාතික ජන බලවේගයේ දැක්ම වන " පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" යන්න ඔහුගේ අයවැය කතාවේදී නිතර නිතර කියවනු  නියතය.

1977 හයෙන් පහක පාර්ලිමේන්තු බහුතරයක් සහිතව බලයට පත්වූ ජේ .ආර් . ජයවර්ධන මහතාගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා වූයේ රනිල්ද මැල් මහතාය. ඒ කාලයේ රූපවාහිනිය තිබුණේ නැත. අප අයවැය කතාවට සවන් දෙන්නේ ගුවන් විදුලිය ඔස්සේය.

 

උදෑසන දහයට ආරම්භ වන අයවැය කතාව මුළු දවස පුරාම පැවැත්වෙනු ඇත. රොනි ද මැල් මහතා අතිශයින්ම දක්ෂ කතිකයෙකි. තේ සහ දිවා ආහාරය සඳහා වන සුළු විවේකයක් හැරුණු විට මුදල් ඇමතිවරයාට එක දිගට පැය හයක් හතක් කට වැඩි කාලයක් තම අයවැය ඉදිරිපත් කරන්නට සිදුවේ.එසේ කළ හැකි වන්නේ සැබවින්ම දක්ෂයෙකුට පමණි.

1977 මුදල් ඇමති  රොනී ද මැල්

 

මෙරටේ එවැනි දක්ෂ මුදල් ඇමතිවරු සිටියහ. සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය එන්.ඇම්. පෙරේරා මහතා එවැන්නෙකි.

ඒත් අවාසනාවකට මෑත කාලයකදී අපට දකින්නට සහ අසන්නට ලැබුණේ මුදල් අමාත්‍යාංශය ලේකම්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් ලියා දී තිබූ අයවැය කතාව වත් හරියට කියවා ගන්නටවත් නොහැකිවූ මොළ හතක් තිබූ මුදල් ඇමතිවරුන්ය. ඔවුන් අපට ඉතිරි කෙරුවේ  බංකොලොත්වූ රටකි.

අයවැයක අරමුණු කීපයකි. එහිදී රටේ විශේෂයෙන්ම ආහාර නිෂ්පාදනය, සෞඛ්‍ය, අධ්‍යාපනය , ප්‍රවාහනය සහ සමාජ සුභසාධනය සඳහා මුදල් වියදම් කරන්නේ කෙසේදැයි තීරණය කිරීම සහ ඒ සඳහා අවශ්‍ය ආදායම් උපයා ගන්නේ කෙසේදැයි තීරණය කිරීම ප්‍රධාන වෙයි.

අයවැය පිළිබඳව අධ්‍යයනය කරන කෙනෙකුට අයවැය වර්ග කීපයක් හඳුනා ගත හැක. සමතුලිත අයවැයකදී: රජයේ ආදායම රජයේ වියදම්වලට සමානවේ. හිඟ අයවැයකදී රජයේ වියදම රජයේ ආදායමට වඩා වැඩි වන අතර අතිරික්ත අයවැය කදී: රජයේ ආදායම රජයේ වියදම්වලට වඩා වැඩිවේ.

පසුගිය දසක ගණනාව තිස්සේම අපට අත්දැකීමට ලැබුණේ හිඟ අයවැයකි.  ඒත් සංවර්ධනය වන රටකට එසේ විය හැක. මක්නිසාදයක්, එවිට වියදම් සඳහා අවශ්‍ය වන ආදායම් උපයා ගැනීමේ අභියෝගය රට ඉදිරියට පැමිණෙයි. සංවර්ධනය සැබවින්ම අභියෝගයකි. පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් ගොඩනැගීමේ ඒ මූලික අරමුණ ළඟා කර ගැනීම සඳහා නිශ්චිත මාර්ගය විවෘත කිරීමේ හැකියාව මුදල් ඇමතිවරයා ලෙස අනුර කුමාර දිසානායක ජනපතිවරයාට හැකි වෙනු ඇතැයි මුළු රටේම මෙන්ම ආරංචි රාළගේ ද බලාපොරොත්තුවයි.

 

ආරංචි රාළ 

2025 .02. 17.  - 45වන දිගහැරුම

 

 

Comments

Popular posts from this blog