දිශාව නිවැරැදි නම් වේගය හා බොත්තම් අදාළ නොවේ.

රෝමය පැය විසිහතරෙන් නොසෑදූ අතර රට ගැන  කිඹුල් කඳුළු හෙලන්නන් හට ඇත්තටම හැඬීමට කාලය නුදුරින් ඇති බව අපි විශ්වාස කරමු. ආදරණීය සොයුරනි, ඔබේ මානුෂික නිදොස් හදවත, අව්‍යාජ බව මිස ඇඳුමෙහි බොත්තම  හෝ සුටුස් ගා ඉංග්‍රීසි කතා නොකිරීම අපට නම් ප්‍රශ්න නොවේ.

කෝට් සූට් ඇඳ රට පාලනය කරනවා යයි කියමින් සාමාන්‍ය මිනිසාගේ අමුඩය පවා උකස් කල මහත් හොරුන් ගැන මට බොහෝ දේ කීමට නැත.  සුදෝ සුදු ආරිය ඇඳුම , සාටක හා උජාරුවට ටයි කෝට් බස්සා ගෙන  පත සයිස් සරීර කූඩු සහිත පල් හොරු මේ රට සුද්දා ගෙන් භාර ගත්හ. උන්ට සුද්දා රට නිකම්ම දුන්නා යැයි මම නොසිතමි. සියළු සම්පත් සූරා කා ඉතිරි වූ යම් සම්පතක් වේ නම් එයත් සූරා කෑමටම ලක් වනු පිණිස බ්‍රිතාන්‍යය ලංකාව භාරදී ගියේ උන්ගේ හොඳම වහලුන්ටය. උන් අමුතු පැලැන්තියක් බිහි කළෝය.

එදා සිට රටේ පාලක පැලැන්තියට සිය බලය සදාකාලිකව පවත්වා ගැනීම හැර මේ රට සෞභාග්‍යය සමෘද්ධිය ගෙන ඒම උන්ගේ  සැබෑ උවමනාවක් නොවූ බවට අද මගේ රටේ ඇති හිඟන බව සාක්ෂි දරයි.         කන්නන්ගර මහතාගේ නිදහස් අධ්‍යාපනය ඔවුන්ගේ ඒ පැලැන්තිය දෙදරවූ මරු පහරක් බව ඔවුන් විසින් වටහා ගත් අතර ඉංග්‍රීසි එක් භාෂාවක් පමණක් නොව පංතිය උරගා බලන ලොතරැයිය බවට පත් කිරීමට ඔවුන් විසින් ඉතා කූට ලෙස ක්‍රියා කලේ  ගම් වල සාමාන්‍ය පංති වල දරුවන්ට ලෝක අධ්‍යාපනයට විවෘතව තිබූ සියළු අවස්ථා ඉතා අපහසු කිරීමෙනි. ඒ අතර එය කළ ඒකා ආසියාවේ රිදී සීනුව බවට ඔටෝ ප්‍රමෝට් විය.

ඉතා කපටි අදහස් ඇති පාලකයින්  රටේ සාමාන්‍ය මිනිසුන් ගෙන් රාජ්‍ය ත්‍රාන්ත්‍රිකත්වය ඈත් කරවීමේ ඉතිරි පියවර බලය ගත් වහාම සිදු කරන ලදී. විවෘත ආර්ථිකය නාමයෙන් ලංකාව ලෝකයේ කුණු  බක්කිය බවට පත් කල කපටි නරියන්ද මල් වට්ටි අත දරා හුන් මුත් පිලිකනු අස්සෙ  රටේ දරුවන් මරා හැංගූ මිනීමරුවන්ද ඒ අතර හුන් බව  මතකය.

තමන්ගේම ලෙයින් උපන් දරුවන් යහපත් පුරවැසියන් හෝ සහකම්පනය ඇති මිනිසුන් බවට පත් කර ගත නොහැකිවූ ගැහැනුන්ට හා පිරිමින්ට රටක පාලනය කිසිසේත් කළ නොහැකි බව පමණක් කියා එතැනින් එහාට මේ රටේ පාලකයන් හා පාලනය   සංශිප්ත කරමි.

ඉතා සියුම් ලෙස රටේ අධ්‍යාපනය, ජනතාවගේ සංස්කෘතික වටිනාකම්,ජාතීන් අතර සහෝදරත්වය දුෂ්ට දේශපාලන අරමුණු උදෙසා දියාරු කර දැමූ මේ දහ ජරා නායකයින් යැයි කියා ගත් නින්දිත මිනිසුන් හා ඔවුන්ගේ අනුගාමිකයන් හා ඔවුන්ගේ  මාධ්‍ය යයි කියා ගන්නා අසික්කිත පුලන්නන් ගැන තව දුරටත් නොලියමි. නමුත් නිවැරැදි දිශානතිය ඔස්සේ ඉතා හෙමින් ඇදෙන මේ නව පුනරුද රජය විසින් වසර හැත්තෑ ගණනක ශ්‍රී ලාංකික ජාතියේ සියළු පව් කඳ පලමුව සැහැල්ලු කර ගත් යුතුව තිබේ.

එය එක රැයින්, මාසයෙන් දෙකෙන් කිරීමට නම් ඔවුන් විසින් මාත් ඇතුලු සියළු ශ්‍රී ලාංකික ජනතාව  කෝවක දමා මකවා අලුතින්  නිලධාරීන්ද පොලීසියක්ද නීති වේදීන්ද, වෛද්‍යවරුන්ද දේශපාලකයන්ද ජන මාධ්‍යවේදීන් ද ඇතුලත් නව ජනතාවක් සෑදීම ප්‍රමුඛ ව කළ යුතුය .

අපි කොහොමත් හොරුන් ,මැරයන්, තක්කඩීන් වෙමු. ඉතින් හොරකම් ,මැරකම් ,තක්කඩි කමි ,ජඩකම් අවසාන කිරීම යනු මේ ස්ථාපිත සමාජයේ බිඳ වැටීමයි. එය නව උපතක් හා සමානය. 

වසර හැත්තෑ පහක් අසූචි වලේ ලැග 2048 තෙක් වැල් පාලමේ කජු සීයා කලිසම උස්සා ගන්නා තෙක් ඉන්න අත ඉස්සූ එව්වන්ට දැන් රට හැදීමේ අමාරුව ඉස්මුරුත්තාවේ පැවතීම  හිනාවට කරුණයිපණුවන් ට අසූචි වල මෙන් සමහරුන්ට පැවති ක්‍රමය ප්‍රියමනාප වී ඇත. 

නව  රජය අපහසුතාවට පත් කිරිම පිණිස කියන්නාවූ අදෝනා,අවලාද, මැසිවිලි අතරින් මට පෙනී යන්නේ ගමන් දිශාව නිවැරැදි නම් වේගය අදාළ නොවන බවයි. ඒ ගමන සඳහා නියමු වන අප වැනිම වූ දහදියෙහි දුකත් කඳුලෙහි බරත් හඳුනන අනුර සහෝදරයා ප්‍රමුඛ  හරිණි ඇතුලු පෙරමුණ වැඩබිමට බැස ඇති බව අපට ඔවුන්ගේ මුහුණු හා හැසිරීම් වලට වඩා ඔවුන්ට දසතින් එල්ල කොට අවසානයේ මඩගැසූවන් විසින්ම නා ගන්නා මඩ ප්‍රහාර සාක්ෂි දරයි.

ජනපති අනුර  සොහොයුර ඔබට මුහුණ හෝදවා රෙදි අන්දවා මේකප් දැමීමට මහජන මුදල් වියදම් නොවන බව අපි තරයේ විශ්වාස කරමු. අපට අවශ්‍ය වන්නේ රට දූෂණය කළ දූෂිත යන්ගේ රෙදි ගලවා ඔවුන් නිරුවත් කොට දඬුවම් ලබා දීමයි.

ආරංචි රාළ2025 .02. 13.  42 වන දිගහැරුම

වත්සලා කන්නන්ගර සොයුරිය FB ට ලියු මේ සටහන ආරංචි රාළ සොරකම් කර පලකරන්නේ ඇය තරම් හොදට ආරංචි රාළට මේ කතාව  ලියන්න්නට  බැරි නිසාය.

 

 

 

 

Comments

Popular posts from this blog