දේශපාලකයන් පෝෂණය කළ පාතාල රාජ්‍යය
ලංකා ඉතිහාසය තුළ ඉංග්‍රීසීන් අපව යටත් කරගන්නා තුරුම ජන කොට්ඨාශ අතර මැරකම් සිදුවූ බවට තොරතුරු නැත. ලංකාව පිළිබඳව වාර්තා ලියා ඇති රොබට් නොක්ස් වැනි අයද එවන් දේ ගැන සඳහන් කරන්නේ නැත.
ඉන්දියාවේ සිට පැමිණි විවිධ හමුදා අතින් සිදු වූ ව්‍යසනයන් හැර මෙරට ජීවත් වූ සිංහල හා දෙමළ කතා කරන ජනයා අතර ගැටුම් ඇතිවූ බවක්ද සඳහන් නොවේ.
ඉංග්‍රීසි පාලන සමයේදී ජනතා නැගිටීම් මැඩ පැවැත්වීමට ඔවුන් විසින් කරන ලද දාමරික ක්‍රියා ගැන නම් සඳහන් වේ.
විශේෂයෙන් 1818 කැරැල්ලේ දී වෙල්ලස්ස ජනයා දරුණු සංහාරයකට භාජනය කර ඇත.
ලංකාවේ ජන කොටස් අතර ඇති වූ ගැටුමක් ලෙස සඳහන් වන්නේ 1915 සිංහල මුස්ලිම් කෝළහාලය ලෙස නම් කර ඇති ගැටුමය. මෙය ආරම්භ වී ඇත්තේ ආගමික පෙරහරක් මුල් කොට ගෙනය. 1948 න් පසු පැවැති මැතිවරණ කාලවලදී විවිධ පළාත්වල විවිධ පාක්ෂිකයන් අතර පහරදීම්, ගිනි තැබීම් ඇති වී තිබේ. එහෙත් මැතිවරණ අවසන් වීමත් සමගම එවැනි සිදුවීම් නිවී යනු දක්නට ලැබිණි.
රට පුරා පැතිර ගිය ජනතා කෝළහාලයක් ලෙස සැළකිය හැකි වන්නේ 1958 සිදු වූ ජාතිවාදී කෝළහාලයයි.එය දේශපාලකයන් විසින් අවුළුවන ලද්දකි.
සංවිධානාත්මකව ප්රචණ්ඩ ක්‍රියා ආරම්භ වන්නේ 1977 මහ මැතිවරණයෙන් පසුවය. අලුතෙන් පත් වූ ජේ.ආර්. ආණ්ඩුව මැතිවරණ ජය සැමරීමට තම පාක්ෂිකයන්ට ඉඩ සළසමින් පොලිසියට සතියක් නිවාඩු ලබාදුන්නේය.
මේ සිදුවීම් ගුරුකොට ගත් දේශපාලකයෝ ඉන්පසු තම අත්තනෝමතික - ඒකාධිපති පාලනයන් පවත්වාගෙන යාමට මැර කණ්ඩායම් ගොඩනගා ගත්හ.
ගෝනවල සුනිල් (රනිල්), සොත්ති උපාලි (ප්‍රේමදාස) මුල් යුගයේ දේශපාලකයන්ට සේවය කළ මැර කණ්ඩායම් නායකයෝ වූහ.
දේශපාලන අනුග්‍රහය ලැබීමත් සමගම වඩ වඩා මැරකල්ලි බිහි වූ අතර දේශපාලකයන්ගේ ඕනෑ එපා කම් ඉටු කිරීමට අමතරව, මත්ද්‍රව්‍ය ජාවාරම්, කප්පම් ගැනීම්, කුළියට මිනි මැරීම් සහ මැරකල්ලි අතර එකිනෙකා මරාගැනීම්ද ඔවුහු සිදු කළහ. මේ සඳහා අවශ්‍යය නවීනතම ගිණි අවිද දේශපාලකයන්ගේ අනුග්‍රහය මතම ලැබිණි. මේ මැර පිරිස් දේශපාලකයන්ගේ ආරක්ෂකයන් ලෙස කටයුතු කිරීමට අමතරව, දේශපාලන පක්ෂ වල කෘත්‍යාධිකාර මණ්ඩල පමණක් නොව පොලිස් තනතුරුද නියෝජනය කළහ.
පෙබරවාරි 18 වනදා ඝාතනයට ලක් වූ ගනේමුල්ලේ සංජීව සහ අරුණ විදානගමගේ (කජ්ජා) එවැනි මැර කල්ලි නායකයන් දෙදෙනෙකි.
දැන් මෙරට ජනතාවට තම ජීවිත පිළිබඳ කිසිදු ආරක්ෂාවක් නැතැයි නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී චෝදනා කළේය.
වම්බොට්ටාගේ සහ ජූලම්පිටියේ අමරේ වැන්නන්ගේ නායකත්වයෙන් මැරකම් කළ පාතාල කණ්ඩායම් සේවය කළේ රාජපක්ෂලාට බව ඔහුට අමතක වීමට හේතුවක් නැත. එසේම දහ අට වන දා තම දියණිය(22) සහ පුතණුවන් (6) සමග ඝාතනය වන විදානගමගේ සේවය කර තිබුණේද රාජපක්ෂලාටය.
පසුගිය මැතිවරණයේදී ඔහු තම ස්වාමියා ලෙස සර්වජන බලය පක්ෂය තෝරාගෙන සිටි බවද නාමල් රාජපක්ෂට රහසක් නොවේ.
එම ක්‍රියාව රාජපක්ෂලාගේ කෝපයට හේතු වන්නට ඇත. එනයින් බලන විට මුළු රටම පාතාල රාජ්‍යයක අණසක යටතට පත් කිරීමට දේශපාලකයන් තම උපරිම දායකත්වය ලබා ඇති අයුරු පෙනේ.
ආරංචි රාළ - 2025.02.23 - 49 දිගහැරුම
Comments
Post a Comment