කුමන ජාතියකට ආගමකට අයත් වුවද, කුමන භාෂාවක් කතා කළද , කුමන ප්‍රදේශයක වාසය කළද, මේ රටේ ජීවත් වෙන ජනතාවට තමන්ගේ ජීවිත වලට වටිනාකමක් ලැබී ඇතැයි යන හැඟීම ඇති වන්නේ නම් එතැනදි "නිදහස" යන වචනයට සැබෑ තේරුමක් ලැබෙනු ඇත.

නිදහස ගැන බොහෝ අයට විවිධ කියවීම් ඇත. 1948 පෙබරවාරි 04 වෙනිදා පටන් අපි නිදහස් දිනය සමරමින් සිටින්නෙමු. 1972 මැයි විසි දෙවැනිදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ නායකත්වයෙන් යුත් සමගි පෙරමුණ රජය අපේ රටට ජනරජ ව්‍යවස්ථාව හඳුන්වා දීමෙන් අනතුරුව 1977 දක්වා පෙබරවාරි 04 වෙනි දින නිදහස් දිනයට වඩා වැඩි ප්‍රමුඛතාවයක් සමගි පෙරමුණ රජය විසින් මැයි 22 වෙනි දින ජනරජ දිනයට ලබා දී තිබුණි. ඒ අනුව මැයි 22 ආණ්ඩුවේ නිවාඩු දිනයක් ද විය.

 එහෙත්, ජේ ආර් ජයවර්ධන 1978 විධායක ජනාධිපති ධූරය සහිත ව්‍යවස්ථාව හඳුන්වා දීමත් සමඟම 72 මැයි 22 දින ව්‍යවස්ථාව පැත්තකට දැමු අතර  ජනරජ දිනයට එතරම් සැලකිල්ලක් නොදැක්වූ අතර නැවතත් පෙබරවාරි 04 නිදහස් දිනය උත්සවාකාරයෙන් පැවැත්වීමට මෙතෙක් පැවති සෑම රජයක්ම කටයුතු කර ඇත.

 ලෝකයේ බොහෝ රටවලට නිදහස් දිනය ජාතික උත්සවයකි. ඒ සඳහා ජනතාව දේශපාලන, ජාති,  ආගම් හෝ වාර්ගික භේදයකින් තොරව සම්බන්ධ වෙති. එහෙත් 1983 සිට 2009 දක්වා පැවැති උතුරු නැගෙනහිර ආයුධ සන්නද්ධ අරගලය නිසාත්, ඉන්  අනතුරුවය රට බේරා ගැනීමේ මහා යුද්ධය ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවන් විසින් ජයග්‍රහණය කිරීම නිසාත් නිදහස් දිනය මේ රටේ මහා ජාතියේ අභිමානය පමණක් පෙන්වන සංදර්ශනයක් බවට පත්විය.

ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රථම නිදහස් උත්සවය 2025 පෙබරවාරි 04 දින කොළඹ නිදහස් චතුරස්‍රය පරිශ්‍රයේ පවත්වන්නේ මෙවන් වාතාවරණයකය.

මෙම නිදහස් උත්සවය සදහා පසුගිය රජයන් විසින් නිදහස් දින සැමරුම වෙනුවෙන් වියදම් කළ මුදල් ප්‍රමාණය ඉතා විශාල ප්‍රතිශතයකින් අඩුකර ඇති බවත්,  නිදහස් උත්සවයක තිබිය යුතු අත්‍යවශ්‍යම අංග පමණක් මෙම සැමරුම ට ඇතුලත් කර ඇති බව රජය පවසයි. 

කුමන ජාතියකට ආගමකට අයත් වුවද, කුමන භාෂාවක් කතා කළද , කුමන ප්‍රදේශයක වාසය කළද, මේ රටේ ජීවත් වෙන ජනතාවට තමන්ගේ ජීවිත වලට වටිනාකමක් ලැබී ඇතැයි යන හැඟීම ඇති වන්නේ නම් එතැනදි "නිදහස" යන වචනයට සැබෑ තේරුමක් ලැබෙනු ඇත.

පසුගියදා යාපනය ප්‍රදේශයේ සංචාරය කළ අවස්ථාවේදී ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයාගේ නායකත්වයෙන් යුතු මේ රටේ අලුත් ආණ්ඩුව තමන්ගේ ජීවිත වලට එවන් වටිනාකමක් ලබා දෙන බවට ඇති දැඩි විශ්වාසයක් යාපනයේ ජනතාවගේ මුහුණු වලින් අපි දුටුවෙමු.

එනිසාම ආරංචි රාළ ද මෙවර නිදහස් දිනය වෙනුවෙන් තමාගේ නිවස ඉදිරිපිට ජාතික කොඩියක් එසවීමට තීරණය කර ඇත.

 ආරංචි රාළ - සංස්කාරක : අරුණ ශාන්ත නෝනිස් (අශානෝ)

 

Comments

Popular posts from this blog