ජාතික සමගිය සහ ජාතික ඒකාබද්ධතාවය සඳහා නව ප්‍රවේශයක් !
වසර 30 කට අධික කාලයක් පුරා පැවැති උතුරු නැගෙනහිර ආයුධ සන්නද්ධ අරගලය නිසා නිර්මාණය වූ එසේම තවමත් ශේෂව ඇති අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා ස්ථාපිත කර ඇති දේශීය ක්‍රියාවලීන් ස්වාධීනව සහ විශ්වසනීය ලෙස තම කටයුතු ඉදිරියටත් සිදු කරගෙන යනු ඇති බව පසුගියදා ජිනීවා නුවර, මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි නිත්‍ය සැසිවාරයේ ඉහළ මට්ටමේ රැස්වීම අමතමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සහෝදරයා පැවසීය.
එහිදී ඔහු අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය,( Office Of Missing Persons - OMP) හානිපූරණ කාර්යාලය(Office for Reparations ), ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වූ කාර්යාලය ( Office for National Unity and Reconciliation - ONUR) වැනි දේශීය ආයතන ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වෙන බවද පැවසීය. මෙය,ජාතික ජන බලවේගය ආණ්ඩුවේ ඉතාමත් ප්‍රගතිශීලී යොමුවක් බවයි ආරංචි රාළගේ අදහස.
එහෙත් පවතින යථාර්ථය වන්නේ ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වූ කාර්යාලය (Office for National Unity and Reconciliation - NOUR) තවමත් ක්‍රියාත්මක වන්නේ 2024 ජනවාරි 23 දින සම්මත කරනු ලැබූ 2024 අංක 01 පනත විසින් එම කාර්යාලයට දී ඇති දිශානතියන් සහ බලතල වලට අනුකූලවය. එසමයේ මෙරට පැවති ආණ්ඩුකරණය ගැන අටුවාටිකා අවශ්‍ය වන්නේ නැත.
කෙසේ වෙතත්, ජාතික ජන බලවේගය ජාතික සමගිය පිළිබඳව පැහැදිලි ප්‍රතිපත්තියක් සහ වැඩ පිළිවෙලක් ජනාධිපතිවරණයට පෙර ජනතාව වෙත ඉදිරිපත් කළ අතර ඒ සඳහා ජනතාවගේ පැහැදිලි අනුමැතිය ලැබී ඇත. එසේනම්, මෙම කාර්යාලය නියත වශයෙන්ම ජනතාව විසින් පැහැදිලි ලෙස අනුමත කර ඇති එම ජාතික ප්‍රතිපත්තිය සහ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු බව ආරංචි රාළ තරයේ කියා සිටියි.
ඒ සඳහා පවතින පනත සංශෝධනය කිරීමට හෝ අලුතෙන් පනතක් ගෙන ඒම පවතින රජය විසින් කළ යුතුව ඇත.
සියලු ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගත් ක්‍රියාවලියක් සහතික කිරීම සඳහා සත්‍ය සහ ප්‍රතිසන්ධාන රාමුවක සමෝච්ඡයන්, හැකි සියලු පාර්ශ්වකරුවන් සමඟ තවදුරටත් සාකච්ඡා කර මෙරට සුල සැබෑ ජාතික සමගිය සහ ජාතික ඒකාබද්ධතාවයක් ගොඩනැගිය හැකිවන්නේ එවිට පමණි.
අණ පනත් ගැසට් නිවේදන සහ චක්‍රලේඛන වලින් ඔබ්බට දිවෙන ජාතික සමගිය සහ ජාතික ඒකාබද්ධතා වැඩපිළිවෙළක් තුළින් මිස පාරම්පරික, එසේම පිළුණු වූ ස්ටීරියෝ types වැඩසටහන්වලින් තවදුරටත් ජාතික සමගිය හෝ ජාතික ඒකාබද්ධතාවය ගොඩනැගිය නොහැක.
මේ සදහා ආණ්ඩුවේ නිලධාරීවාදයෙන් බැහැර වූ පුළුල් ජනතා සහභාගිත්වයක් සඳහා නිදහස් ව්‍යුහයක් ගොඩනගා ගත යුතු කාලය එළැඹ ඇත.
විදේශ ඇමතිවරයා ජිනීවාහිදී තවත් විශේෂ අදහසත් ප්‍රකාශ කළහ. එනම්, “මාස කිහිපයකට පෙර පැවැති මැතිවරණයේදී, ශ්‍රී ලංකාවේ ජනතාව ආර්ථික, සමාජීය සහ දේශපාලනික පරිවර්තනයක් කරා රට යොමු කිරීම සඳහා ශක්තිමත් ජනවරමක් සහිත නව රජයක් තෝරා පත් කර ගත් අතර රටේ සෑම ප්‍රදේශයකම වෙසෙන සියලු ජනවර්ග සහ ආගම්වලට අයත් ජනතාව විසින් දරනු ලබන ඒකීය මතය දැන් පාර්ලිමේන්තුව තුළින් පිළිබිඹු වේ. එසේම, වත්මන් පාර්ලිමේන්තුව, අපගේ ඉතිහාසය තුළ සියලු ජන කොටස් වඩාත්ම හොඳින් නියෝජනය කෙරෙන අන්තර්කරණයවූ (Inclusive) පාර්ලිමේන්තුවක් වන අතර වාර්තාගත කාන්තාවන් සංඛ්‍යාවක්, මලයහ ප්‍රජාව නියෝජනය කරන්නන් පමනක් නොව ආබාධ සහිත ප්‍රජාව නියෝජනය කරන පුද්ගලයෙකද එයට ඇතුළත් වනවා. මෙම නියෝජනය කිරීම, ස්ත්‍රී පුරුෂ භාවය, ජනවාර්ගිකත්වය හෝ වෙනත් හේතු නොසලකා සියලුම ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කරන ශ්‍රී ලංකාවේ නව මාවත විද්‍යමාන කරනවා."
තත්ත්වය එසේනම් ජාතික සමගිය සහ ජාතික ඒකාබද්ධතාවය සඳහාද අප නව ප්‍රවේශයක් නිර්මාණය කරගත යුතුය. එය පවතින ඒකාකාරී , චක්‍රලේඛන වල හිරවුණු ,ඇල්මැරුණු රාජ්‍ය සේවයෙන් පිටතට රැගෙන යා හැකි ව්‍යුහයක් තුල සිදුවිය යුතුමය.
ආරංචි රාළ 2025 . 02. 27 - 52 වන දිගහැරුම
Comments
Post a Comment