බරබ්බස් කවුද ? (අබ්බාස්ගේ පුත්‍රයා)

බරබ්බස් ගැන සඳහන් වන්නේ අළුත් ගිවිසුමේ පමණය. ඔහු පිළිබඳව වෙනත් ඓතිහාසික සටහනක් හමු නොවේ. එහෙත් රෝම අධිරාජ්‍යයට විරුද්ධව කැරළි ගැසූ මෙවැනි චරිත ජීවත්ව සිට ඇත. ඒ නිසා එවැනි අය වටා විවිධ ජනප්‍රවාද නිර්මාණය වීම ස්වභාවිකය.

විප්ලවයේ සහ යුක්තියේ සංකීර්ණත්වයේ සංකේතයක් ලෙස බරබ්බස් සමාජය තුළ හඳුනාගත හැකිය. ඔහු ප්‍රචණ්ඩ ප්‍රතිරෝධය සහ සාමකාමී නායකත්වය අතර වෙනස නියෝජනය කරයි. ඇතැමුන් ඔහු පීඩනයට එරෙහි වන නිදහස් සටන්කාමියෙකු ලෙස දකින අතර තවත් සමහරු ඔහු සලකන්නේ අහිංසක මිනිසෙකුගේ වියදමින් නිදහස් වූ අපරාධකරුවෙකු ලෙසය. ඔහුගේ කතාව, පැවිති තත්වයන් විසින් බලපෑමට ලක් වූ මහජන මතය යුක්තිය සහ නායකත්වය හැඩගස්වා ගත හැකි ආකාරය පිළිබඳ මතක් කිරීමක් ලෙස සැලකිය හැකියි.

අළුත් ගිවිසුමේ සුවිශේෂක වරුන් සතර දෙනා බරබ්බස් හොරෙක්, මිනිමරුවෙක්, කැරළිකරුවෙක් ලෙස හඳුන්වති. රජයකට එරෙහිව නැගී සිටින්නන් මිනිමරුවන්, කූඩුකාරයන්, ගණිකාවන් ලෙස හංවඩු ගැසීම අදත් සිදුවෙයි. පිලාත් වෙත අනුකම්පාව දැක්වීම පිනිස, ඔහු ජේසු තූමාව නිදහස් කිරීමට උත්සාහයක් ගත්බව පෙන්වීමට, බරබ්බස් චරිතය ඉදිරිපත් කළා වෙන්නට බැරි නැත. ඔහු වැනි කැරළිකරුවෙකූ නිදහස් කිරීමෙන්, පිලාත් රෝම අධිරාජයාගේ උදහසට ලක් නොවන්නේද යන සැකය උපදී.

පාස්කූ මංගල්‍යය වෙනුවෙන් සිරකරුවෙකූ නිදහස් කිරීම යන සම්ප්‍රදායය මතූ කිරීම එම උදහසෙන් පිලාත් ගළවා ගැනීමට දරන උත්සාහයක්ද ?  සමහර විට ජේසු තූමාගේ ලේවල වගකීම පූජකයන් තමන් වෙත පවරා ගැනීමේ කතාවත් පිලාත් නිදොස් කිරීමට දරන උත්සාහයක් විය හැකිය.

එහෙත් ප්‍රශ්ණය වන්නේ තමන් සමග රෝම හමුදාවක් සිටියදී පිලාත් නිරායුධ සෙනගගේ බලපෑමට යට වූයේ ඇයිද යන්නයි. ගෙවී ගිය ඉරුදින ජේසුස්ට ජය වේවා කියමින් පෙළපාලි ගිය මිනිසුන්ම, එතූමාගේ මරණය පැතූවායැයි පිළිගත හැකිද ?  සමහරුන්ගේ මතය වන්නේ බරබ්බාස් නිදහස් කරනු යැයි හඬ නගන්නට ඇත්තේ ඔහුගේ නායකත්වය පිළිගෙන සිටි අනුගාමිකයන් විය හැකි බවයි.

පසුගිය කාලයේ  හොරුන්, මිනිමරුවන්, දූෂකයන් ජනාධිපති සමාව හෝ වෙනත් ක්‍රමයකින් නිදහස් කිරීමේ ක්‍රියාවලියට හෝ එවැන්නන් තම නායකයන් ලෙස තෝරා ගැනීමේ ක්‍රියාවලියට බරබ්බස් සිද්ධිය සමාන කර දැක්වීම බරබ්බස්ට කරන අපහාසයකි. මන්දයත් ඔහුට මරණ දඬුවම හිමිවූයේ හොරකමකට හෝ මිනිමැරුමකට නොව කැරළි ගැසීමේ චෝදනාවටය. එකල කූරුසියේ ඇණ ගසා මරා දමන ලද්දේ රෝම ආධිපත්‍යයට විරුද්ධව කැරළි ගැසූවන්ය. ජේසු තූමාට එරෙහිව ඉදිරිපත් වූයේද එම චෝදනාවමය.

තවත් අරුමයක් නම් බරබ්බස්ගේ මුල් නමත් ජේසුස් වීමය (මැතිව් 27 ඃ 16). ජේසුස් යනු සුළභව භාවිතාවූ පොදු නාමයක් විය. නාසරතයේ ජේසුස් ලෙස ජේසු තූමාව හැඳින්වූයේ නියත ලෙසම එතූමාව අන් ජේසුස්ලාගෙන් වෙන් කර දැක්වීමටය. ඒ බව ජේසු තූමා ඇණ ගැසූ කූූරුසිය මුදුනේ සවි කළ පුවරුවේද සටහන් කරන ලද්දේ, මරණ දඬුවම හිමිවූයේ නාසරෙතයේ ජේසුස්ම බව දැක්වීමටය (අයි.එන්.ආර්.අයි.).

 

ආරංචි රාළ  - 2025 .02. 14.   43 වන දිගහැරුම

 

(මේ සටහන  ආරංචි රාල ලියන්නේ  එච්.ෂෙල්ටන් පිරිස් සහ ශාන්තලාල් හෙට්ටිආරච්චි විසින් ලියු සටහන් දෙකකක් පදනම් කරගෙනය)

ඡායාරුප අන්තර්ජාලයෙනි.

 


 

Comments

Popular posts from this blog