රාජ්‍ය නොවන ආයතන (NGOs) වලට ලැබෙන අරමුදල් සාධාරණ නියාමනයකට ලක්කල යුතුය !

රාජ්‍ය නොවන සංවිධාන වල ක්‍රියාකාරීත්වය ශත වර්ෂ ගණනාවක් අතීතයට යන කතාවකි.  ලෝකයේ බොහෝ සංවර්ධිත රටවල් තමන්ගේ විදේශ කටයුතු අමාත්‍යංශයට සම්බන්ධව මෙම සංවර්ධන නියෝජිත ආයතන පවත්වාගෙන යති.

එවාට අවශ්‍ය  අරමුදල් සම්පාදනය කරන්නේ එම රටවල රාජ්‍යයන් විසිනි. ඇමරිකාව කැනඩාව යුරෝපා සංගමයට අයත් රටවල්,  නොර්වේ, බ්‍රිතාන්‍ය ,ජපානය කොරියාව මෙන්ම මැදපෙරදිග බොහෝ රටවල් පමණක් නොව ඉන්දියාව පවා මේ ආකාරයට විවිධ රටවල ක්‍රියාත්මක වන තමන්ගේ සංවර්ධන නියෝජිත ආයතන වලට අරමුදල් සම්පාදනය කිරීමේදී  අති විශාල මුදල් ප්‍රමාණයක් තමන්ගේ වාර්ෂික අයවැයෙන් වෙන් කරති. එපමණක් නොව ලෝකයේ විවිධ  ආගමික සභාවන්ද මෙවැනි ආකාරයේ සංවර්ධන නියෝජිත සංවිධාන පවත්වාගෙන යති.


එම රටවල් හෝ ආගමික  සභාවන් ලෝකයේ ක්‍රියාත්මක වන විවිධ රාජ්‍ය නොවන සංවිධානවලට අරමුදල් සම්පාදනය කිරීමේදී ඒ සියල්ල සඳහා යොදාගන්නා ප්‍රධාන නිර්ණායකයක් වන්නේ ලෝකය පිළිබඳව ඔවුන් ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තීන් වේ.

තමන්ගේ රාජ්‍ය ප්‍රතිපත්ති  වලට හෝ ආගමික ප්‍රතිපත්ති වලට පරිබාහිරව ඔවුන්  කිසිම ව්‍යාපෘතියකට හෝ වැඩසටහනකට  තමන්ගේ සංවර්ධන නියෝජිත ආයතන හරහා ආධාර උපකාර ලබා දෙන්නේ නැත.

සරල උදාහරණයක් ගතහොත් ඇමෙරිකාවේ USAID ආයතනය පලස්තීන ජනතාවගේ විමුක්ති අරගලය වෙනුවෙන් කරනු ලබන කිසිදු ව්‍යාපෘතියකට අරමුදල් සම්පාදනය කරන්නේ නැත.  එහෙත් ලෝකයේ ආණ්ඩු පෙරලීමට ඔවුන් මුදල් දෙයි.

අතීතයේ බොහෝ රාජ්‍ය නොවන ආයතන ක්‍රියාත්මක කළ සමාජ සංවර්ධන වැඩසටහන් සඳහා විශාල වශයෙන් ආධාර ලබා දීමට එම ආයතන කටයුතු කළත් මෑත කාලයේදී  බොහෝ රටවල් තමන්ගේ න්‍යාය පත්‍රයන් වෙනස්කර තම රටේ දේශපාලන අරමුණු වලට සමාන්තරව යන වැඩසටහන්වලට පමණක් අරමුදල් සම්පාදනය කරති..

යුද්ධය නිසා අනාථ වූ ජනතාවට පදිංචි වීමට නිවාස ඉදිකරන ව්‍යාපෘතියකට වඩා වඩා ජාතීන් අතර සමගිය සහ සංහිඳියාව ගොඩනැංවීම වෙනුවෙන් කෝටි ප්‍රකෝටි ගණන් මුදල් විදේශීය රටවල් තමන්ගේ නියෝජිත ආයතන හරහා ලංකාවේ තෝරා  ගනු ලැබූ රාජ්‍ය නොවන ආයතන වලට  පොම්ප කර ඇති බව අපි දන්නෙමු.

මේ ඔස්සේ ශ්‍රී ලංකාව තුළ රාජ්‍යය නොවන සංවිධාන මාෆියාවක් ගොඩනැගුණු බවද අප අමතක නොකළ යුතුය. ඇමෙරිකාවේ  USAID ආයතනය ඇමරිකාවේ අවශ්‍යතාවය වෙනුවෙන් රාජ්‍ය නොවන සංවිධාන වලට පමණක් නොව දේශපාලකයින්ට සහ ඔවුන්ගේ දේශපාලන පක්ෂවලට මෙන්ම බලපෑම් කළ හැකි පුද්ගලයන්ට පවා මුදල් ආධාර ලබාද ඇති බව  දැන් හෙළි වෙමින් පවතී.

2004 දෙසැම්බර් 26 වෙන දින ඇති වූ සුනාමි ව්‍යසනය නිසා විනාශ වී ගිය දේපළ සහ නිවාස ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රජයට සමාන ප්‍රමාණයකින් හෝ ඊට වැඩි ප්‍රමාණයක් රාජ්‍ය නොවන සංවිධාන වලට ආධාර ලබා දුන් බව අපි දන්නෙමු. සියලු අරමුදල් සැබෑ ලෙසම සුනාමි ව්‍යසනයෙන් විපතට පත්ව ජනතාවගේ  සුභ සාධනය වෙනුවෙන් වැය කළාදැයි යන සැකය අපට ඇත්තේ සුනාමි ව්‍යසනයෙන් පසු ඉදි වූ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන ආයතනවල කාර්යාල ගොඩනැගිලි සහ ඔවුන් පාවිච්චි කරන්නට පටන්ගත් වාහන සහ භුක්ති විදින  පහසුකම් දෙස බලන විටය.

ආරංචි රාළ විදේශ ආධාර ප්‍රතික්ෂේප කරන්නේ නැත. එහෙත් එම ආධාර මොන කණ්ඩායම විසින් ක්‍රියාත්මක කළත් ජනතාව බලගැන්වීම සහ දැන් පවතින ජීවන තත්ත්වයෙන්  ඉහළට ඔසවා තැබීම සඳහා වන ව්‍යාපෘති සඳහා විය යුතුය.

මේ වන විට ලංකාවේ රාජ්‍ය නොවන ආයතන නියාමනය කිරීම සඳහා ඇති ආයතනය වන්නේ රාජ්‍ය නොවන ආයතන සඳහා වන ලේකම් කාර්යාලයයි. මෙම ආයතනය වඩා කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක විය යුතු බව ආරංචි රාළ යෝජනා කරයි.

 ආරංචි රාළ - 2025 .02. 11.      41 වන දිගහැරුම

 

 

 

 

Comments

Popular posts from this blog