ආරංචි රාළ  - 50 යි!

මේ ආරංචි රාළ  50 වන දිගහැරුමයි.  ආරචි රාළ හුදු පුවත් වාර්තා කරන වෙබ්පුවත් ලිපියක් නොවේ. මේ උත්සාහය මේ රට නිවැරදි දිසාවට යොමුකරවීම සදහා ජනතාව සමග බුද්ධිමය සංවාදයක නිරත වීමයි. ඔබට ස්තුතියි. හැමදාම ආරංචි රාළ සමග ඉන්න.

සංස්කාරක

 


රටේ දේශපාලන දිශානතිය තීරණය කිරීමේදී අන්තර් ජාලය තීරණාත්මකයි!

1990 - 2024 දක්වා කාලය තුළ මිනිසුන් තමන්ගේ කාලය වැය කරන්නේ කුමන ක්‍රියාකාරකම් වෙනුවෙන් දැයි පිළිබඳව කරන ලද සමීක්ෂණයකදී ඉතා රසවත් තොරතුරු කීපයක් හෙළිකර ගැනීමට හැකි වී ඇත.

මෙම සමීක්ෂණයේ නිරවද්‍යතාවය පිළිබඳව  යම් ප්‍රශ්න තිබුණත්  අන්තර්ජාලයේ පැමිණීම සටහන් කරන 80/90 දසකයේ සිට 2000 දක්වාත්, ඉන් අනතුරුව   2024 වන විට  එය සමග මිනිසුන් ගත කරන කාලය තමාගේ අනෙකුත් ක්‍රියාකාරකම් සඳහා වෙන් කරන කාලයට සාපේක්ෂව ප්‍රතිශතයක් ලෙස මෙසේ දක්වා තිබුණි.

 තමන්ගේ අනිකුත් ක්‍රියාකාරම් හා සසදා බලනවිට අන්තර්ජාලය සමග ගත කරන කාලය:

1990 - 0.30%

2000 - 5.85%

2022 - 58.68%

2024 - 60.76%

මේ දත්ත වලට අනුව පැහැදිලි වන  සත්‍යය වන්නේ අද මිනිසුන්ගෙන් බොහෝ දෙනෙක් අන්තර්ජාලය සමඟ තමන්ගේ ජීවිතයෙන් වැඩි කාල වේලාවක් ගත කරන බවය.

පසුගියදාක ආරංචි රාළට  මුණගැසුණු  මිතුරු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් පැවසූයේ ඔහුගේ මීළඟ ටෙලි නාට්‍යය, සාමාන්‍ය රූපවාහිනී නාලිකාවක් ඔස්සේ විකාශනය කරනවා වෙනුවට youtube හරහා විකාශනය කිරීමට කටයුතු සැලසුම් කරන බවය.

ඔහුට අනුව, තවත් වසර දෙක තුනක්  යන විට ජනතාව, මුද්‍රිත පුවත්පත් කියවීම, ගුවන් විදුලියට සවන් දීම සහ  රූපවාහිනිය නැරඹීම අති විශාල ප්‍රතිශතයකින් අඩු කරන අතර දැනුම විනෝදය සහ තොරතුරු සඳහා ඔවුහු අන්තර්ජාලය භාවිතා කරන බවය.  තත්ත්වය එසේ නම්, ඉදිරියේදී ඕනෑම රටක ජනතාවගේ මනස සහජීවන චර්යාවන් හසුරවනු ලබන්නේ අන්තර්ජාලය විසිනි.

එහිදී මිනිසුන්ගේ දේශපාලන තීරණ ගැනීම පිළිබඳව අන්තර්ජාලයට කළ හැකි වන බලපෑම අතිශයින්ම තීරණාත්මක වනු ඇත. 

මේ වන විට ක්‍රියාත්මක වන විවිධ අන්තර්ජාල වේදිකාවන් වන Facebook, YouTube, Innstergam, Link In, Telegram, Zoom, team යනාදිය ඔස්සේ මේ වන විටත් ලෝකයේ බොහෝ රටවල දේශපාලනය හසුරවනු ලබන බව කිව හැකිය.

ටියුනිසියාවේ සිදුවූ පළමු  ආණ්ඩු පෙරළිය සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරන ලද්දේ අන්තර්ජාලයේ තිබූ විවිධ වේදිකාවන්ය. පසුව එය ඊජීප්තුව සහ ලිබියාව දක්වා ව්‍යාප්ත විය. ශ්‍රී ලංකාවේ 2022 සිදුවූ අරගලය සදහා ජනතාව රැස්  කිරීමට අන්තර් ජාලය දැක්වූ දායකත්වය අපමණය.

 අන්තර්ජාලය පරිහරණය කිරීම සඳහා අපිට විශේෂ ස්ථානයක් හෝ නිශ්චිත වේලාවක් අවශ්‍ය වන්නේ නැත. ඒ සඳහා බොහෝවිට අවශ්‍ය වෙන්නේ අපට අවශ්‍ය වන්නේ අතේ රැගෙන යන ස්මාර්ට් දුරකථනයක් පමණි.

අන්තර්ජාලය තුළ අපට හමුවන සමාජ මාධ්‍ය වේදිකාවලට සුවිශේෂ බාධා කිරීම් හෝ සීමා කිරීම් කළ නොහැක. එවැනි සීමාවන් පැනවුද තාක්ෂණයේ අගතැන්පත් බොහෝ දෙනෙකුට ඒවායින් ගැලවී යාමට විවිධ උපක්‍රම සකස් කර ගත හැකිය.

2006 - 2009 කාලය තුළ ශ්‍රී ලංකාවේ හමුදාවන් විසින් එල්ටීටීඊ සංවිධානයේ ග්‍රහණයට හසු කරගෙන තිබූ උතුරු නැගෙනහිර ප්‍රදේශ නැවත අත්පත් කිරීමට කරන ලද  යුධ මෙහෙයුමේදී එල්ටීටීඊ සංවිධානයේ  TamilNet වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ ජනතාවට නැරඹීම බාධා කරන ලදී. එහෙත් ඒ සඳහා ඒ වන විට හඳුන්වා තිබූ විවිධ ඇප්ස් apps භාවිතා කරමින් බොහෝ දෙනෙකු එම වෙබ් අඩවියට පිවිසුණහ..

 

මෙහි සරල අදහස වන්නේ තවදුරටත් ජනතාව අතරේ තොරතුරු සහ පුවත් ප්‍රචාරය කිරීම නතර කිරීම හෝ වාරණය කිරීම බලයේ සිටින රජයකට නොහැකි වන බවයි. කෙසේ වෙතත් තොරතුරු සහ පුවත් දැනගැනීමට ජනතාවට ඇති අයිතියට බාධා කිරීම හෝ තහංචි පැනවීමට ආරංචි රාළ විරුද්ධය.

එහෙත් අසත්‍යය පුවත් සහ බොරු ප්‍රචාර ඔස්සේ ජනතාව රැවටීම සහ නොමග යැවීම කිසිසේත්ම සිදු නොවිය යුතුය.

විවිධ අණ පනත් මගින් අසත්‍ය පුවත් සහ බොරු ප්‍රචාර කරන පුද්ගලයන් සහ සංවිධාන වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහයක් තිබේ. මේ පිළිබඳව මාධ්‍යවේදීන් දැඩි විරෝධතාවයක් දක්වති. අවාසනාවකට එසේ විරෝධතාවය දක්වන ඊනියා මාධ්‍යයවේදීන්ම තමන්ගේ මාධ්‍යකරණය සදාචාරාත්මක වන පවත්වාගෙන යන්නේ නැත.

අද අපිට මාධ්‍යකරණය සහ වාර්තාකරණය පැටලී ඇත.

සැබවින්ම මෙය පැහැදිලි කරගත යුතුව ඇත. මාධ්‍යකරණය යනු ඕනෑම ජන මාධ්‍යයක වෘත්තීය මට්ටමේ රාජකාරියක නිරතව කටයුතු කිරීමයි.

මේ කුමක් වුවත් දැන් මේ රටේ දේශපාලනය යොමු විය යුතු දිශාව තීරණය කරන්නේ කවුරුන්දැයි යන විමසීමේදී අන්තර්ජාලයට පැවරෙන වගකීම අතිශයින්ම තීරණාත්මක බව කවුරු කවුරුත් වටහා ගත යුතුව ඇත.

 

ආරංචි රාළ : 50 වන දිගහැරුම - 2025.02.25

 

 

 

 


Comments

Popular posts from this blog