අන්‍යෝන්‍ය ගෞරවය සහ අවබෝධය මත  පුනරුද ක්‍රියාවලිය ඉදිරියටම..

ඊයේ පාර්ලිමේන්තුවේදී ආබාධ සහිත ප්‍රජාව නියෝජනය කරන  සුගත් වසන්ත ද සිල්වා මහතා පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනාව බ්‍රේල් ක්‍රමයට තැබූ සටහනක් උපයෝගී කරගනිමින් ඉදිරිපත් කිරීම ඓතිහාසික සිදුවීමකි. ජාතික ජන බලවේගයේ " එක්ව අත් නොහැර ප්‍රතිපත්තිය" අනුව යමින් අබාධ සහිත ප්‍රජාව කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුවී ඇති මෙවන් මොහොතක අබාධ සහිත ප්‍රජාව සමග ගනු දෙනු කිරීමේදී ඉතා වැදගත් වන සංවේදී සන්නිවේදන ක්‍රියාවලියක වැදගත් කම සාකච්ඡා කළ යුතුව ඇත.

ආබාධ සහිත පුද්ගලයන් සහ සංවේදී සන්නිවේදන ක්‍රියාවලියක වැදගත්කම;

සන්නිවේදනය මූලික මිනිස් අන්තර්ක්‍රියාවකි, නමුත් ආබාධ සහිත පුද්ගලයින් සම්බන්ධයෙන් ගත් කල, එය බොහෝ විට ඒකාකෘති සහ වැරදි වැටහීම් වලින් පිරී තිබේ.  බොහෝ යහපත් චේතනා ඇති පුද්ගලයන් වුවද සංවේදී හා ගෞරවනීය සන්නිවේදනයේ වැදගත්කම හඳුනා ගැනීමට අපොහොසත් වී ඇත. මෙම ඒකාකෘතික සන්නිවේදන ක්‍රමවේද‍යන් සහ පුරුදු වලට අභියෝග කිරීම සහ ආබාධ සහිත පුද්ගලයන්ගේ අභිමානය සහ පෞද්ගලිකත්වයට ගරු කරන සන්නිවේදනයක් කරා ක්‍රමිකව සමාජය හුරු කිරීමේ අවශ්‍යතාවය ආරංචි රාළ දකියි.

· වැරදි ලේබල්:

පුද්ගලයින් වැරදි ලෙස ලේබල් කිරීමේ ප්‍රවණතාවය ආරංචි රාළ ප්‍රතික්ෂේප කරයි. ශ්‍රවණය කළ හැකි නමුත් එසේ කිරීමට නොහැකි යැයි පෙනී සිටින කෙනෙකු හැඳින්වීමට කථන අබාධ සහිත පුද්ගලයෙකු යන යෙදුම හෝ ඊට සමාන යෙදුමක් භාවිතා නොකල යුතුයි. අනෙකුත් ආබාධ සඳහාද මෙය අදාළ වේ. සැබවින්ම අබාධයක් නොමැති පුද්ගලයින් හට ඔවුන්ගේ හැසිරීම් රටාවලට සම්බන්ධ කරමින් ආබාධ සහිත යන යෙදුම (හෝ ඊට සමාන වෙනත් යෙදුම්) භාවිතයෙන් සිදුවන්නේ අබාධ සහිත යන්න පහත්කොට සැලකීම හෝ සමාජයට පිළිකුලක් යන්න හැඟවීමයි. එවැනි වැරදි හඳුනාගැනීම් සහා උපකල්පනයන් කාලයක් තිස්සේ මිනිසුන්ගේ සන්නිවේදන රටාවේ කොටසක් බවට පත්ව ඇති බැවින් එයින් මිදීම තරමක් අපහසුය.

· ගෞරවය හා සමානාත්මතාවය

අප කතා කළ යුතු තවත් සන්නිවේදන ඒකාකෘතියක් නම් ආබාධ සහිත පුද්ගලයන් අදක්ෂ හෝ සම්පූර්ණයෙන්ම අන් අය මත යැපෙන බව හැඟවෙන ආකාරයෙන්ම භාෂාව හැසිරවීමයි. ප්‍රමාණය ඉක්මවා අනුකම්පා සහගත හෝ අනුග්‍රහය දක්වන සන්නිවේදනය සම්පූර්ණයෙන්ම වෙනස් කොට සැලකීම තරම්ම හානිදායක විය හැකිය. ඒ වෙනුවට, ගෞරවය හා සමානාත්මතාවය ඉස්මතු වන ආකාරයෙන් බාධාවන්ට වඩා හැකියාවන් කෙරෙහි අවධානය යොමු කරවන සන්නිවේදන ක්‍රියාවලියක් වෙනුවෙන් කැපවීම මානුෂික කාරණයකි. රෝද පුටුවක් භාවිතා කරන පුද්ගලයෙකුට ඔවුන්ගේ සංචලනය දුර්වල වීම නිසා සාකච්ඡා හෝ තීරණවලට සහභාගී විය නොහැකි යැයි උපකල්පනය නොකළ යුතුය. 

· ගෞරවනීය යෙදුම් භාවිතය

සංජානන හැඩ ගැස්වීමේදී භාෂාව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. යල් පැන ගිය හෝ සංවේදී නොවන යෙදුම් භාවිතය සෘණාත්මක ඒකාකෘති ශක්තිමත් කරයි. අසරණ බව අඟවන "දුක් විඳීම" හෝ "නොහැකියාව" වැනි වාක්‍ය ඛණ්ඩ වෙනුවට "ආබාධ සහිත පුද්ගලයෙකු" හෝ "රෝද පුටු භාවිතා කරන්නෙකු" වැනි මධ්‍යස්ථ සහ ගෞරවනීය යෙදුම් භාවිතා කිරීම වඩාත් සුදුසුය.

· භාෂාවෙන් ඔබ්බට දිවෙන  ප්‍රවේශතාවය

භාෂාවෙන් ඔබ්බට, සන්නිවේදනය සඳහා පවතින ප්‍රවේශතාවය පිළිබඳව අවධානය යොමු කිරීමද තවත් එක් වැදගත් කරුණකි. මෙයින් අදහස් කරන්නේ ආබාධ සහිත පුද්ගලයින්ට සංවාදවල යෙදීමට සමාන අවස්ථා ඇති බව සහතික කිරීමයි. කථනාබාධ හෝ ශ්‍රවණාබාධ සහිත පුද්ගලයන් සඳහා, සංඥා භාෂා පරිවර්තකයන් සැපයීම හෝ මාධ්‍ය අන්තර්ගතයේ සිරස්තල ඇති බව සහතික කිරීම වැනි ක්‍රියාකාරකම් මින් අදහස් කෙරේ. දෘශ්‍යාබාධිත අය සඳහා, බ්‍රේල් හෝ ශ්‍රව්‍ය විස්තර වැනි ප්‍රවේශ විය හැකි ආකෘති වලින් තොරතුරු ඉදිරිපත් කිරීමද අත්‍යවශ්‍ය වේ.

· ආබාධිතභාවය, සම්පූර්ණ අනන්‍යතාවය ?

ආරංචි රාළ ආබාධිතභාවය පුද්ගලයෙකුගේ සම්පූර්ණ අනන්‍යතාවය නිර්වචනය කරයි යන මතය අභියෝගයට ලක් කරයි. සන්නිවේදන කටයුතුවලදී ඔවුන්ගේ ආබාධිතභාවය කෙරෙහි පමණක් නොව සමස්ථ පුද්ගලයා කෙරෙහි අවධානය යොමු කළ යුතු ය. රුචිකත්වයන්, ජයග්‍රහණ සහ දායකත්වයන් පිළිබඳව විමසීම සහ අගය කිරීම අප සියලු දෙනා  බලාපොරොත්තු වන අන්තර්කරණය වූ සමාජයක් සඳහා මාර්ගය සකසයි.  

· අන්‍යෝන්‍ය ගෞරවය සහ අවබෝධය

සන්නිවේදනයේ ඒකාකෘති බිඳ දැමීම ඉතාම අපහසු මෙන්ම අභියෝගාත්මක ක්‍රියාවලියකි. නමුත් මේ  එළඹ ඇත්තේ  ඒ සඳහා සුදුසුම වේලාවයි. මන්ද අපි රටක් වශයෙන් පුනරුද ක්‍රියාවලියක නිරත වෙමින් සිටිමු.  සමාජයේ යල් පැන ගිය ආඛ්‍යානවලින් ඔබ්බට ගමන් කිරීමටත් අන්‍යෝන්‍ය ගෞරවය සහ අවබෝධය මත පදනම්වූ අන්තර්ක්‍රියා වැළඳ ගන්නා ලෙසත් එම පුනරුද ක්‍රියාවලිය අපිට අභියෝග කර සිටී.

ආබාධ සහිත පුද්ගලයින්ගේ පෞද්ගලිකත්වය හඳුනා ගැනීමෙන් සහ භාෂාව සහ සන්නිවේදන ක්‍රම භාවිතයේදී මානුෂිකත්වයට මුල් තැන ලබාදීම තුළින් අපි වඩාත් සාධාරණ ලෝකයක් යන ගමනේ තීරණාත්මක පියවරක් තැබිය හැක.

ආරංචි රාළ - 2025 . 02.  26 - 51 වන දිගහැරුම

 (රිද්ම ෆොන්සේකාගේ සටහනක් පදනම් කරගෙනය)

 


 

Comments

Popular posts from this blog