උතුරු නැගෙනහිර සංක්‍රමණික ධීවරයින්ගේ ලයිසන් අවනඩුව .

 

මේ පිළිබඳ දැන් ධීවර ඇමැතිවරයාගේ සහ නියෝජ්‍ය ඇමතිවරයාගේ අවධානය යොමු කර ඇති අතර ආණ්ඩු බලයේ සිටින ඔවුන් ඒ පිළිබඳව කටයුතු කරන්නේ කෙසේදැයි ආරංචි රාළ විමසිල්ලෙන් යුතුව බලා සිටියි.

 


ජාතියේ පියාගේ උතුරු නැගෙනහිර සිංහල ජනපදකරණයට මෙන්ම රට බේරාගත් විරුවා යුද්ධයෙන් පසුව උතුරු නැගෙනහිර ප්‍රදේශවල සැලසුම් සහගතව  ජනගහනයේ ජාතීන්ගේ  සංයුතිය වෙනස්  කිරීමට සිංහල ජනතාව පදිංචි කරවීම ආරංචි රාළ කොන්දේසි විරහිතව ප්‍රතික්ෂේප කරයි. එහෙත් දැනට වසර ගණනාවක් තිස්සේ බස්නාහිර සහ දකුණේ ජීවත්වූ ධීවරයෝ තමන්ගේ රැකියාව සඳහා අවුරුද්දේ එක කාල සීමාවක් උතුරු නැගෙනහිර මාළු බිම් ඇති ප්‍රදේශවලට සංක්‍රමණය වීම නිසා ගොඩනැගුණු සංක්‍රමණික ධීවර කර්මාන්තය නම් කිසිසේත්ම ප්‍රතික්ෂේප කරන්නේ නැත.

නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමගම බස්නාහිර වෙරළ සහ මුහුද ආශ්‍රිතව නොගැඹුරු මුහුදේ මාදැල් සහ තෙප්පං රැකියාව කිරීම අපහසුවන බැවින් එම කාල සීමාවේදී මීගමුවේ බොහෝ ධීවරයින් මාස හයක කාලයක් සඳහා මුලතිව්, කෝකිලායි, වාකරෙයි සහ කදිරවෙල්ලි වැනි නැගෙනහිර මුහුදු තීරයට සංක්‍රමණය වීම මීගමු ධීවරයාගේ වාර්ෂික ජීවන චර්යාවේ කොටසක් විය.

මේ නිසා මුලතිව් කෝකිලා යන ප්‍රදේශවල මාස හයක් මුහුද ආශ්‍රිතව ඔහු පදිංචිව සිටි අතර ප්‍රධාන වශයෙන් මා දැල් සහ නොගැඹුරු මුහුදේ ඉස්සන් ඇල්ලීමේ නිරත විය.

මෙසේ සංක්‍රමණය වූ සමහර ධීවර පවුල් එම ප්‍රදේශවලම පදිංචි වූ අතර වසර ගණනාවක් ඒවායේ ජීවත් විය. එහෙත් තමන්ගේ උපන් ගමට විටින් විට පැමිණ ඔවුන් තමන්ගේ ස්ථිර පදිංචිය මීගමුවේ බව තහවුරු කළහ.

වෙනම රාජ්‍යයක් වෙනුවෙන් සටනක් කරමින් සිටි ද්‍රවිඩ විමුක්ති කොටි සංවිධානය 1984 දී   සමස්ත උතුරු නැගෙනහිර ම දෙමළ ජනතාවගේ භූමියක් ලෙස ප්‍රකාශ කිරීමේ අරමුණින් නැගෙනහිර මුහුදුබඩ ජීවත් වූ සංක්‍රමණික ධීවරයන්ට පහරදී පලවා හැරියේය. මේ නිසා සැලකිය යුතු මිනිස් ජීවිත ප්‍රමාණයක් අහිමි වූ අතර වසර ගණනාවක්, මුලතිව් කොකිලායි කෙන්ට්ෆාම් සහ නැගෙනහිර ජීවත් වූ බොහෝ මීගමුවේ ධීවරයෝ යුද අනාථයින් ලෙස මීගමුවට පැමිණියහ.

කාලෙන් කාලයට ඇතිවූ තාවකාලික සාමකාමී කාලවලදී ඔවුහු යළිත් එම ප්‍රදේශවල රැකියාවට ගියහ.

2009 මැයි මාසයේදී යුදමය තත්ත්වය සම්පූර්ණයෙන්ම අවසන් වීමත් සමගම මීගමුවේ ධීවරයෝ නැවතත් තමන් රැකියාව කළ ප්‍රදේශවලට සංක්‍රමණය තමන්ගේ සුපුරුදු රැකියාව කරන්නට විය. ඒ සදහා ඔවුන් තමන්ගේ ධීවර ආම්පන්න සහ රැකියා ප්‍රදේශ සදහා ආණ්ඩුවේ නිත්‍යානකූල ලියාපදිංචි සහතික ලබා ගත්හ.

මෙය නැවතත් කාලයක් තිස්සේ පැවති සිංහල සහ දෙමළ ජනතාව අතර සංහිඳියාව සහ සුහදතාවය ගොඩනැගීමක් විය.

එහෙත් මෑත කාලයේ පටන් ජාතිවාදී නැඹුරුවකින් යුතුව තමන්ගේ දේශපාලන බලය තහවුරු කර ගැනීම සඳහා ජාතිවාදී සිංහල ආණ්ඩුවලට සහාය දැක්වූ සමහර උතුරේ දෙමළ දේශපාලකයින් මෙම ප්‍රදේශවල මීගමුවේ ධීවර යන්ට තමන්ගේ රැකියාව සාමකාමීව කරගෙන යාමට අවස්ථාව උදාකර දුන්නේ නැත. තමන් සතු දේශපාලන අධිකාරී බලය පාවිච්චි කරමින් විශේෂයෙන් මාදැල් රැකියාව සඳහා ධීවර අමාත්‍යාංශය විසින් නිකුත් කරන අවසර පත්‍රය  ලබා ගැනීමට මේ වනවිට මීගමුවේ මාදැල් ධීවරයන්ට විශාල අරගලයක් කිරීමට සිදුව ඇත.

පරාජිත උතුරේ දෙමළ ජාතිවාදී දේශපාලකයන්ගේ හෙන්චයියන් මේ පිටුපස සිටින බව ධීවරයෝ ආරංචි රාළට පැවසූහ.

මේ පිළිබඳ දැන් ධීවර ඇමැතිවරයාගේ සහ නියෝජ්‍ය ඇමතිවරයාගේ අවධානය යොමු කර ඇති අතර ආණ්ඩු බලයේ සිටින ඔවුන් ඒ පිළිබඳව කටයුතු කරන්නේ කෙසේදැයි ආරංචි රාළ විමසිල්ලෙන් යුතුව බලා සිටියි.

ආරංචි රාළ

සංස්කාරක :  අරුණ ශාන්ත නෝනිස් (අශානෝ)

 


Comments

Popular posts from this blog