අලි - ඇතුන් මියයාම
මේ ඛේදවාචකයට ඒකාබද්ධ ප්‍රවේශයක් හරහා විසඳුමක් ඉදිරිපත් කළ යුතුය.
මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවෙන අලි ඇතුන්ගේ මරණ සංඛ්‍යාව දිනෙන් දිනම වැඩිවන තත්ත්වයක් දකින්නට ඇත. දුම්රියේ ගැටී අනතුරට පත්වීමෙන් මිය යන හෝ ආබාධිත තත්ත්වයට පත්වෙන අලි ඇතුන් අතර කුඩා අලි පැටවුන්ගේ සිරුරු දකින්නට ලැබීම අතිශයින්ම වේදනාකාරී දර්ශනයකි.
වත්මන් දත්ත වලට අනුව පවතින වනාන්තර සහ කැලෑ ප්‍රමාණයට සාපේක්ෂව අලි ඇතුන්ගේ ජනගහනය කිසියම් ප්‍රමාණයකට වැඩි බව පෙනේ.එහෙත් මෙතන ගැටලුව වන්නේ අලි ඇතුන් වාසය කළ වනාන්තර සහ කැලෑවන් විනාශ කිරීම නිසා මේ තත්ත්වය ඇති වී තිබීමයි.
කාලයත් සමඟ ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකයේ බොහෝ රටවල් වල මාර්ග පද්ධති සංවර්ධනය කිරීමත් සමඟ වන සතුන් ගහන ප්‍රදේශ හරහා දුම්රිය සහ මහා මාර්ග ඉදිකිරීමට සිදුවීම නිසා අලි ඇතුන් ඇතුළු වන සතුන් ගණනාවකට උන්ගේ සාමාන්‍ය ජීවිතයට බාධා පැමිණි බව සත්‍යයකි.
එහෙත් බොහෝ සංවර්ධිත රටවල් මහා මාර්ග සහ දුම්රිය මාර්ග ඉදිකිරීමේදී සතුන් ගමන් කරනා මංකඩ වල් අවහිර නොවන ආකාරයට එම මංමාවත් ඉදිකිරීමට උත්සාහ දරා ඇත.
අපේ රටේ මේ මාර්ග බොහොමයක් ඉදිවූයේ සුද්දා අපේ රට පාලනය කරන කාලයේ දීය.අපේ රටේ අලි ඇතුන් ගැන හෝ සතුන් ගැන උන්ට වගක් තිබුණේ නැත.
පසුගිය දසක ගණනාවම මේ රට පාලනය කළ පාලකයන්ට එවැනි දුරදක්නා නුවණක් තිබුණේ නැත. නුවණක් තිබුණද එවැනි සතුන් ආරක්ෂාව වන පරිදි මං මාවත් ඉදිකිරීමට විශාල වියදමක් දරන්නට සිදුවේ. අද අපගේ අලි සහ ඇත් පරපුරට මේ ඛේදවාචකයට මුහුණ දීමට සිදුවීම ඇත්තේ උන්ගේ ආරක්ෂාව ගැන නොසිතා ඉදිකරන ලද මංමාවත් සහ දුම්රිය මාර්ග නිසාය. එපමණක් නොව සංවර්ධනය සමග ඇතිවෙන පාරිසරික බලපෑම් පිළිබඳව අපට අවබෝධයක් තිබුණේ නැත. කෙසේ වෙතත් මේ ප්‍රශ්නය දැන් විසඳිය යුතුවම ඇත.
රටේ ඇති වෙන ඕනෑම ප්‍රශ්නයකට විසඳුම් ලබාදිය යුත්තේ බලයේ සිටින දේශපාලකයින් විසිනි.
දේශපාලකයෝ ප්‍රශ්න විසදන විට ඒ සියල්ලටම මූලික වන්නේ අතට යටින් දේශපාලකයාට ලැබෙන කොමිස් කුට්ටියයි. අනිත් අතට කිසිදු විශේෂඥ දැනුමක් නොතිබුණද ඔවුහු හැසිරෙන්නේ සියල්ල දත් ඔස්තාර්ලා ලෙසිනි.
දැන් එසේ නොවන බව ජනතාවගේ විශ්වාසයයි.
අලි ඇතුන්ට මුහුණ දීමට සිදුවී ඇති මේ ඛේදවාචකයට විෂය ක්ෂේත්‍ර සහ අමාත්‍යාංශයන් ගණනාවක් සම්බන්ධය. පරිසර අමාත්‍යාංශය, ඉඩම් අමාත්‍යංශය, ප්‍රවාහන අමාත්‍යාංශය පමණක් නොව ආපදා කළමනාකරණය භාරව සිටින ආරක්ෂක අමාත්‍යාංශය ද මැදිහත්ව ඒකාබද්ධ ප්‍රවේශයක් හරහා වන විසඳුමක් මේ සඳහා ඉදිරිපත් කළ යුතුව ඇත. ඒ සඳහා ඇමතිවරුන්ගෙන් ඔබ්බට දිවෙන විශේෂඥ දැනුම ඇති පුද්ගලයන්. මෙන්ම අලි ඇතුන් සමග නිතර නිතර ජීවත්වෙන ප්‍රජාවද සම්බන්ධ කර ගත යුතුව ඇත.
මේ වන විටත් මේ පිළිබඳව හසල දැනුමක් සහ අවබෝධයක් ඇති පුද්ගලයින් විසඳුම් යෝජනා රජයට ඉදිරිපත් කර ඇත. එම යෝජනාවල ඇති සක්‍යතාවය පිළිබඳව සලකා බැලීමටද ආණ්ඩුව නිහතමානී විය යුතුය.
ආරංචි රාළ
2025 .02. 22 : 48 වන දිගහැරුම
Comments
Post a Comment