“සීසර්ගේ දේ සීසර්ටත් දෙවියන්ගේ දේ දෙවියන්ටත් දෙන්න.”
ජේෂ්ඨ කථිකාචාර්ය විජිත් රොහාන් ප්‍රනාන්දු ගෙන් දේව ධාර්මික විග්‍රහයක්!
![]() |
ජේෂ්ඨ කථිකාචාර්ය විජිත් රොහාන් ප්‍රනාන්දු |
මේ පාඨය දැන් නිතර නිතර අපට ඇසෙනවා. මෙය ශුද්ධවූ බයිබලයේ ඇති ඉතා ජනප්‍රිය පාඨයක් ලෙස සැලකිය හැක. මෙම පාඨයට පාදකවන ඓතිහාසික පසුබිම සහ එහි දෙවධාර්මික අදහස මතුකර ගැනීමට ආරංචි රාළ කැලණිය විශ්ව විද්‍යාලයේ සම්භාව්‍ය ක්‍රිස්තියානි සංස්කෘතික අධ්‍යයන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය විජිත් රොහාන් ප්‍රනාන්දු සමග කෙටි සංවාදයක නිරත වෙනවා. මේ කථිකාචාර්ය විජිත් රොහාන් මේ ගැන දක්වන අදහසයි.
සීසර්ගේ දේ සීසර්ටත් දෙවියන්ගේ දේ දෙවියන්ටත් දෙන්න, යන අදහස මතුවන්නේ ජුදා ජනතාව රෝම අධිරාජයාට බදු දීම පිළිබඳව ජේසුස් වහන්සේගෙන් කරන ලද ප්‍රශ්න කිරීමකටඋන්වහන්සේ දුන් පිළිතුර සමගය. ශුද්ධවූ බයිබලයේ මාර්ක් (12; 13 - 17), මතෙව්(22:15 - 22) සහ ලූක් (20;19 -20) යන සුභාරංචි තුනකම මේ අවස්ථාව අපට හමුවෙනවා. මේ ජේසුව කිසියම් උගුලකට හසු කිරීමට දරන උත්සාහයක්. ඒ කාලයේ ජේසු ජීවත්වූ එම ප්‍රදේශය යටත්ව තිබු රෝම අධිරාජ්‍යයට ජනතාව බදු ගෙවිය යුතුද නැද්ද යන ප්‍රශ්නය පරිසිවරු, විනයධරයන් සහ හෙරෝදිවරුන් අහනවා.
ජේසු ඒ වෙලාවේ කරන්නේ කුමක්ද? ඒ වෙලාවේ ජේසු කියනවා; "මට රිදී කාසියක් දෙන්න" කියලා. ඒ කාසිය පෙන්නලා අහනවා; "මේ කාසිය තියෙන්නේ කාගේ රූපෙද කියලා. ඒ සීසර්ගේ රූපය. මේ සන්දර්භය ගත්තාම ජුදා ජාතිකයන් අනිවාර්යෙන්ම අධිරාජයාට වන්දනා කිරීමකුත් එතන තියෙනවා. මෙතැනදී ජේසු කියන්නේ අධිරාජයාට කරන වන්දනාව ප්‍රතික්ෂේප කිරීමක් ගැනයි. ඒක මේ සුභාරංචි තුනේම ඉතා පැහැදිලියි. මාක්, මතෙව් සහ ලූක් යන ශුභාරංචි සන්දර්භීය තත්ත්වය ගත්විට කාසිය තමයි වැදගත් වන්නේ. මොකද. ඒ කාසිය ජේසු පෙන්නලා ප්‍රශ්න කරන අයගෙන් අහනවා; "එහි ඇති ඡායාරූපය කුමක්ද?" කියලා.
මහාචාර්ය ඇලොයි පීරිස් පියතුමාගේ විග්‍රහයකුත් බලනකොට මේ සිද්ධිය අපට රූප වන්දනාවත් එක්කත් සම්බන්ධ කරන්න පුළුවන්. දේව මාලිගාවේ ඓතිහාසික තත්ත්වය තුල දේව මාලිගාවට රෝම කාසි ගෙන එන්න බැහැ. දස පනතේ දෙවන පනතට අනුව රූප වන්දනාව තහනම්! එතකොට ජනතාව මොකද්ද කරන්නේ, දේව මාලිගාවට ගෙන රෝම කාසි ජුදා කාසිවලට මාරු කර ගන්නනවා. "මනුෂ්‍ය පුත්‍රයා " නාට්‍ය තුලත් අපි මේ ගැන සාකච්චා කරනවා. ජුදා කාසි වලින් තමයි දේව මාලිගාව තුල ගෙවීම් කරන්න වෙන්නේ. මේ සිද්ධියත් එක්ක අපට පැහැදිලිව පේනවා මෙය රූප වන්දනාව, ධන වන්දනාව සමඟ සම්බන්ධ වෙනවා. මොකද ඇලෝයි පියතුමා මැමෝන් කියලා සඳහන් කරන්නේ වස්තුවට සහ ධනයට තියෙන වන්දනාව.
ඇත්තට රූප වන්දනාවට පසුබිමින් තියෙන්නේ ධන වන්දනාවයි. මේ සන්දර්භයන් තුළ තමයි මාක්, මතෙව් සහ ලුක් යන සුභා රංචිවල මේ සිද්ධිය ඉදිරිපත් කරන්නේ.
මේ සිද්ධිය අපිට තවත් පාඨයක් එක්ක සම් කරන්න වෙනවා. ඒක තමයි මතෙව් සුභ ආරංචියේ 6 පරිච්චේදයේ 24වෙනි වගන්තිය තියෙනවා "ස්වාමිවරු දෙදෙනෙකුට සේවය කිරීමට කිසිවෙකුට නුපුළුවන්ය" කියලා . එවිට ඔහුට හෝ ඇයට එක් කෙනෙකුට වෛර කර අනිත් කෙනාට ප්‍රේම කරන්න සිදුවෙනවා. නැතිනම් එක්කෙනෙකුට ලැදිව අනිත් අය හෙලා දකින්න වෙනවා.
දෙවියන් වහන්සේට සහ වස්තුවට එකවර ප්‍රේම කිරීමට නොහැකියි. එතකොට ඉතාමත් පැහැදිලිවම මතෙව් සුවිශේෂයේ කියන්නේ ස්වාමිවරු දෙදෙනෙකුට එකවර සේවය කළ නොහැකි බවයි. එක්කෝ දෙවියන්ට එක්කෝ ධනයට. අපිට දෙකෙන් එකක් තෝරාගන්නට සිදුවෙනවා. එතකොට මෙතන ජේසු සීසර්ගේ දේ සීසර්ටත් දෙවියන්ගේ දේ දෙවියන්ටත් දෙන්න කියලා ඉතා පැහැදිලිව කියන්නේ මැමෝනා කියන ධනයට වන්දනා කරමින් දෙවියන් වහන්සේට වන්දනා කළ නොහැකි බවයි. දෙකෙන් එකක් තෝරාගන්න.
මේ පාඨය දේව ධාර්මිකව අර්ථකථනය අර්ථකථනය කළ හැක්කේ ඔය ආකාරයටයි.
ජාතික ජන බලවේගය ආණ්ඩුව කියනවා රජය ව්‍යාපාරවලට මැදිහත් වෙන්නේ නැහැ කියලා. ධනවාදී ක්‍රමය තුළ ව්‍යාපාරික කටයුතුවල සාධාරණ ලෙස යෙදෙන්නේ ඉතාමත් සුළු පිරිසක්. වැඩි දෙනෙක් ව්‍යාපාර කරන්නේ උපරිම ලාභ ලබාගැනීමටයි. ජාතික ජන බලවේග ආණ්ඩුවකට ඒක නතර කරන්න අමාරුයි. මේ "සීසර්ගේ දේ සීසර්ටත් දෙවියන්ගේ දේ දෙවියන්ටත් දෙන්න" කියන පාඨය උපයෝගී "දේශපාලනය අකැපැයි" කියලා වැරදි අර්ථකථනයක් දෙනවා.
අපි තේරුම් ගත යුතුයි නාසරේත් හි ජේසුගේ දේශපාලනය මොකක්ද කියලා. ඔහුගේ දේශපාලනය උනේ දේව රාජ්‍යය වෙනුවෙන් පීඩිත ජනතාව වෙනුවෙන් යුක්තිය සාධාරණත්වය උදාකර දීමයි. එතන දේශපාලනයක් තියෙනවා. ඒ නිසා තමයි ජනෝදානය ධාර්මික දේශපාලනය කියන සංකල්පය කරළියට කැඳවාගෙන එන්නේ. අපිට දැන් නිතර නිතර මේ මේ "සීසර්ගේ දේ සීසර්ටත් දෙවියන්ගේ දේ දෙවියන්ටත් දෙන්න" කියන පාඨය ඇසෙනවා. එය වචනාර්ථයකට වඩා එය කියවෙන සන්දර්භය තුල සිට තේරුම් ගත යුතුයි.
ආරංචි රාළ
Comments
Post a Comment