විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවෙ යමක් කියන විට මාලිමා මැති ඇමතිවරු කෑකෝ ගසමින් බාධා කිරීමෙන් අලුත් දේශපාලන සංස්කෘතියක් බිහි වන්නේ නැත. - මහාචාර්ය ලියනගේ අමරකිර්ති
කාලයකදී මේ රටේ එක් කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ 225 දෙනාවම ගෙදර යවා මහජනතාවට පාලනය ලබාදෙන ක්‍රමවේදයක් සකස් විය යුතු බවට කෑ මොරදුන්නේය. කෙසේ වෙතත් අවසානයේ මේ රටේ ජනතාව නව ජනාධිපතිවරයෙක් තෝරාපත් කර ගනිමින් ඉන් අනතුරුව ඔහු අයත් වෙන පක්ෂයට තුනෙන් දෙකකට වඩා වැඩි බලයක් පාර්ලිමේන්තුව තුළ ලබා දෙමින් ජනාධිපතිවරයාගේ පක්ෂයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරුන් 225 න් 159 දෙනෙකුවම ලබා දුන්හ.ආණ්ඩු සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගකීම විය යුත්තේ ජනතාව තමන් වෙත ලබා දී ඇති ජනවරම වගකීමෙන් යුතුව පාවිච්චි කරමින් ජනතාවගේ අපේක්ෂාවන් වෙනුවෙන් කටයුතු කිරීමය. ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ඉතා සුළු පිරිසක් එසේ කටයුතු කිරීමට උත්සාහ කලද බොහෝ දෙනෙක් පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් කර ගැනීමට උත්සාහ කරන අතර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා ඊයේ(පෙබරවාරි 06) පාර්ලිමේන්තුවේදී කළ විශේෂ දැනුම් දීමෙන් මේ පාර්ලිමේන්තු සංස්කෘතිය ගැන ආරංචි රාළ ට මල පැන ඇති බව කිව යුතුය.
අපට මේ සභාව නිසි පිළිවෙලකට පවත්වා ගෙන යා නොහැකිද? කරුණාකර මේ සභාවේ ගෞරවය සහ අලංකාර බව/ශෝභනත්වය පවත්වාගෙන යා නොහැකිද?
අද මේ සභාව තුල පවතින්නේ හරිම අවාසනාවන්ත තත්ත්වයක්. මේ සභාව තුල කුමන පක්‍ෂයක් නියෝජනය කරන අය සිටියත් මා ඔබට මතක් කරන්න කැමතියි, මහජනතාවට ඕන වුණේ මේ සභාවේ සංස්කෘතියේ වෙනසක්, ජනතාවට අවශ්‍ය දේ අපි හැමෝටම ලබාදෙන්න පුළුවන්ද, අපිට ලැබුණු ජනවරම අනුව කටයුතු කරන්න පුළුවන්ද?මම හිතන්නේ අපි ජනතාව අපේක්ෂා කල මේ පාර්ලිමේන්තුව තුළ වෙනස් පරිසරයක් නිර්මාණය කිරීමට අපි සැමදෙනාම අදිටන් කර ගත යුතුයි ?"
නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වන්නේ සංස්කෘතික මිනිසුන්ගේ දායකත්වයෙනි. මේ පිලිබදව මහාචාර්ය ලියනගේ අමරකිර්ති තම මුහුණු පොතේ මෙසේ සටහන් කර තිබුණි.
" දයාසිරි ජයසේකර පරණ දූෂිත දේශපාලන පද්ධතියේම නියෝජිතයෙක් වෙන්න ඇති. පසුගිය දශක කීපෙදි ඔහු කිසිම හරයක් ඇති හෝ සංකල්පමය ගැඹුරක් ඇති දෙයක් කියලා නැතුව ඇති. අපේ රට අද වැටී ඇති තැනට ඇද දාපු දේශපාලනයෙම කොටස්කාරයෙක් මිස ඊට පිටින් හිටපු කෙනෙක් නොවෙනවාත් ඇති. නමුත් ඔහු පාර්ලිමේන්තුවෙ යමක් කියන විට මාලිමා මැති ඇමතිවරු කෑකෝ ගසමින් බාධා කිරීමෙන් අලුත් දේශපාලන සංස්කෘතියක් මතුවී පෙනෙන්නෙ නෑ. පාර්ලිමේන්තුවෙ ඉන්න විපක්ෂ චණ්ඩි මෙල්ල කරන වැඩේ බිමල් හොඳට කරනවා. අනික් අය කළ යුත්තේ කරුණු සහිතව, ව්‍යක්තව, සංයමයෙන්, ආකර්ෂණීය වාගාලංකාරයෙන්, පුනරුද කතිකාව ඉදිරියට ගෙන යන ආකාරයෙන් අදහස් ඉදිරිපත් කිරීමයි.එහිදී කෝපයට වඩා බුද්ධිමය හාස්‍යය තමයි වැදගත්. ඉංග්‍රීසියෙන් විටි(witty) කියන්නෙ ඒකට. ලාල්කාන්ත නම් තමන්ගෙ කතාවලට තරමක හාස්‍යයක් එකතු කරනවා.මේ වැඩේ හරියට කරන්න මන්ත්‍රීවරු හොඳට පොතපත කියවලා තියෙන්නත් ඕනෙ වෙයි. "
ආරංචි රාළ
Comments
Post a Comment