හැම දෙනාම ඔබ ගෙවිය යුතු  බදු ගෙවන්න!  ඒ හැම රුපියලක්ම ආරක්ෂා කර, රට වෙනුවෙන් යොදවනවා! ජනපති අනුර කුමාර දිසානායක.

මුල සිට අග දක්වා සම්පූර්ණ අයවැය කතාවට සවන් දෙන්න අවස්ථාවක් නොලැබුණත් මුළු දවසම රූපවාහිනී යන්ත්‍රය ක්‍රියාත්මකව තිබුණි. එබැවින් විටින් විට අයවැය කතාව නැරඹීමට අවස්ථාව ලැබුණි.

ඊයේ ආරංචි රාළ සටහන් කළ ආකාරයට 1977 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මුදල් ඇමති රොනී ද මැල් මහතාගේ අයවැයට ගුවන් විදුලිය ඔස්සේ සවන් දීමෙන් පසුව අවස්ථා ගණනාවකදී රූපවාහිනිය ඔස්සේ මුදල් ඇමතිවරුන්ගේ අය වැය කතා කීපයක්ම නරඹා ඇත්තෙමු.

එක්  අයවැය කතාවකදී, මුදල් ඇමතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එක් අයවැය යෝජනාවක් ඉදිරිපත් කරන විටදී මෝඩ චුන් අරගෙන  ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ තමන්ගේ මේස වලට තඩිබාන විට; " කොහොමද බයියන්ගේ වැඩ.?" කියා අසමින් විරුද්ධ පක්ෂයට කෝචොක් පාරක් දැම්මේය.

 

එදා 1977 රොනී ද මැල් මහතා තම අයවැය කතාව ඉදිරිපත් කළේ දැඩි ආත්ම විශ්වාසයකින් යුතුවය. ඔහුගේ එම අයවැය ශ්‍රී ලංකාව සැබැවින්ම උඩු යටිකුරු කළ ශ්‍රී ලංකාවට විවෘත ආර්ථිකය හඳුන්වා දුන් අයවැයකි. ඒ සමග රට තුළට හැම ජහ ජරාවක්ම ගලාගෙන ආවේ 2024 දෙසැම්බර් 26 වැනිදා සුනාමිය සමග මුහුද ගොඩ ගැලුවා සේය.

"ධර්මිෂ්ඨ සමාජයක්" සංකල්පය ඉදිරියට රැගෙන ආවත් මුළු රටම මහත් විනාශයක් කරා රැගෙන ගිය අතර රටේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට ජනතාවට තමන්ගේ ආරක්ෂාව තමන් විසින් සලසා ගත යුතු යැයි කියන්නට සිදුවූ තරමට රට ප්‍රපාතයකට ඇද වැටුණි.

මොළ හතේ මුදල් ඇමතිවරයාට අමාත්‍යංශ ලේකම්වරයා ලියා දුන් අයවැය යෝජනා කියවා ගත නොහැකිව ගොත ගසමින් හත්පල්ලේ ගාගත් හැටි අපට තවම මතකය.

ඊයේ ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයා ජාතික ජන බලවේගය ආණ්ඩුවේ ප්‍රථම අයවැය ඉදිරිපත් කරන්නේ පැහැදිලි දැක්මක් ඇතිවය. මෙම අයවැය අයත් වන්නේ කුමන ආර්ථික හෝ දේශපාලන මතවාදයකටදැයි ආරංචි රාළට දන්නේ නැත. එහෙත් මේ පොහොසත්  රටක් සහ ලස්සන ජීවිතයක් නිර්මාණය කරන දුෂ්කර ගමන් මාර්ගයේ තීරණාත්මක ආරම්භයයි.

මෙම අයවැයේ අතිශයින්ම වැදගත් ලක්ෂණය වන්නේ කිසිදු බදු සංශෝධනයක් නොකර සිටීමයි. එහෙත් මුදල් ඇමතිවරයා ඉතා පැහැදිලි පණිවිඩයක් ජනතාවට ලබා දෙයි.

එනම්; තමන් කුමන තරාතිරමකට හෝ ආර්ථික තලයකට අයත්වූවත් රටේ ජනතාව විසින් ගෙවිය යුතුව ඇති බදු නියත වශයෙන්ම ගෙවිය යුතු බවත්, ආණ්ඩුව එම බදු අය කර ගැනීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවත්ය.

මේ සැබැවින්ම අභියෝගයකි. රාජ්‍ය ආදායමෙන් වෙඩි පංගුවක් උපයා ගන්නේ බදු මුදල් වලිනි. එහිදී ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරා බදු දෙපාර්තමේන්තුව ජනතාවගෙන් මෙම බදු මුදල් රජයට එකතු කර දෙති. එහෙත් අවාසනාවකට මෙම බදු මුදල් එකතු කිරීම කාලාන්තරයක් තිස්සේ නිසි ලෙස සිදු වූයේ නැත. එහි වගකීම මෙම ආයතනවල රාජකාරි කරන නිලධාරීන්, ආයතන ප්‍රධානීන් සහ එම ආයතන භාර ඇමතිවරු ගත යුතුව ඇත.

එසේම බදු ගෙවීමේ හැකියාව ඇති එහෙත් බදු දැලට හසු නොවී සිටින විශාල පිරිසක් මේ රටේ ඇත. ඔවුන්ද බදු ගෙවිය යුතුවම ඇත. අපේක්ෂිත රාජ්‍ය ආදායම ලබාගත හැකි වන්නේ එවිටය. ඊට අමතරව මුදල් ඇමැතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ නිෂ්පාදන ආර්ථිකය රටට අවශ්‍ය ආදායම් උත්පාදනය කර දෙනු ඇත.

ආරංචි රාළ   

2025.02.18 : 46 වන දිගහැරුම

 

 

Comments

Popular posts from this blog